Thursday, April 25, 2024
Follow Us
රංජන්ට දුන් දඬුවම සැර වැඩියි. ලෝකෙ කිසිම රටක මෙහෙම දඬුවමක් දීලා නෑ ! - කිරිඇල්ල

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාට දුන් දඬුවම සැර වැඩි බවත් ලෝකයේ වෙනත් කිසිදු රටක මෙවන් වරදක් සඳහා මෙතරම් බරපතළ දඬුවමක් ලබාදී නොමැති බවත් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

"ඇත්ත වශයෙන්ම මම පාර්ලිමේන්තුවෙදීත් කිව්වා පිටදීත් කිව්වා රංජන්ට දීපු දඬුවම සැර වැඩියි. අවුරුදු 20කට කලින් එස්.බී. දිසානායකට දඬුවම දුන්නාමත් මම ප්‍රෙස් එකක් තියලාම කිව්වා දඬුවම සැර වැඩියි කියලා. මොකද අනිත් රටවල්වල මේ වගේ දේකට ඇත්ත වශයෙන්ම සමහර අවස්ථාවලදී අවවාද කරලා නිදහස් කරනවා.

මං කිව්වෙ අර ඉන්දියාවෙ එක නීතීඥ මහත්මයෙක් කෝවිඩ් වසංගතය උච්ඡ අවස්ථාවක ෆේස්බුක් එකේ දැම්මා අග්‍රවිනිශ්චයකාරතුමා මෝටර් සයිකලේක නැගලා මාස්ක් එකක් නැතුව නවදිල්ලිය හරහා යනවා. ඕක ෆේස්බුක් එකේ දාලා නීතිය හදන තැන මෙහෙමද ක්‍රියාත්මක කරන්නෙ කියලා හැමතැනම ගියා. මෙයාට උසාවියට අපහාස කළායි කියලා නඩුවක් දැම්මා. එයා වැරැද්ද පිළිගත්තෙ නෑ. අන්තිමට එයාට දඩගැහුවෙ රුපියලයි. එයා ඒ රුපියල ගෙව්වෙත් නෑ. එයා ඒ රුපියල ගැන අභියාචනයක් කරලා දැන් ඒක අභියාචනයක් හැටියට තියෙනවා.

ඉතිං මම හැමදාම කිව්වා දඬුවම සැර වැඩියි. ඕනෙම නඩු තීන්දුවක් විවේචනය කරන්න පුළුවන් ඕනෙම තැනක. රටේ මේ මිත්‍යා මතයක් තියෙන්නෙ නඩු තීන්දු විවේචනය කරන්න බෑ කියලා. නඩු තීන්දු විවේචනය කරන්න පුළුවන්. පාර්ලිමේන්තුව ඇතුළෙත් පුළුවන්, මෙතනත් පුළුවන්. ඒක වරදක් නෙවෙයි. හැබැයි අපට කියන්න බෑ නඩුකාරවරු අල්ලස් ගත්තා වගේ දේවල්. පගාවට තීන්දු දුන්නා වගේ දේවල් කියන්න බෑ. අපි එහෙම කියන්නෙත් නෑ. අපි කියන්නෙ නඩු තීන්දුව සැර වැඩියි, ලිහිල් දඬුවමක් දෙන්න කියලා. මොකද අපි ලෝකෙ තියෙන උදාහරණ ගණනාවක් පෙන්නුවා. කිසිම රටක මේ වගේ දඬුවමක් දීලා නෑ" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මේ බව පැවසුවේ ඊයේ (28) විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

(LNW)