Saturday, April 27, 2024
Follow Us
මේ ආණ්ඩුව රට හිඟමනට වට්ටලා. අපට වසර 20කවත් දීර්ඝ කාලීන ප්‍රතිපත්ති රාමුවක් අවශ්‍යයි - රනිල්

රට පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩගැනීම සඳහා අවම වසර 20ක්වත් නොබිඳිය හැකි දීර්ඝකාලීන ජාතික ප්‍රතිපත්ති රාමුවක් ස්ථාපිත කළයුතු බව හිටපු අග්‍රාමාත්‍ය, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරයි.

"අපි ආරම්භ කරන්න ඕනෑ කොරෝනා පාලනය කරන වැඩසටහනින්. එහෙනම් අනිත් රටවල් කරනවා වාගේ අපේ වෛද්‍ය උපදේශක කොමිටියකුත් ඒවා ක්‍රියාත්මක කරන පරිපාලන කොමිටියකුත් වුවමනායි. මේවායේ තීරණ ගන්න ඕනෙ කැබිනට් මණ්ඩලය. ඇමති මණ්ඩලය. ඇමති මණ්ඩලය පැත්තකට දාලා වැඩ කටයුතු කරන්න බෑ.

අපට අද විදේශ විනිමය නෑ. එන්නත් ගන්න අමාරු තත්වයක් තියෙනවා. විදේශ විනිමය නැති නිසා පොහොර නෑ. බෙහෙත් නෑ. ඉතිං අපි පළවෙනියෙන්ම කරන්න තියෙන්නෙ ණය ලබාගෙන අත්‍යාවශ්‍ය භාණ්ඩ අරගෙන ජීවිතේ ආපහු ආරම්භ කරන එක. දීර්ඝ කාලීනවත් හිතන්න වුවමනායි. දීර්ඝ කාලීන ජාතික ප්‍රතිපත්ති රාමුවක් ඇති කරන්න ඕනෙ. ඒක යකඩ රාමුවක් වෙන්න ඕනෙ කාටවත් කඩන්න බැරි. අවුරුදු 20ක් විතර. ඒක ව්‍යවස්ථාවටත් කොහොමද ඇතුළු කරන්නෙ කියලා සාකච්ඡා කරන්න වුවමනායි.

දෙවැනුව තියෙන්නෙ 20 වැනි සංශෝධනය ඉවත් කරලා අපට අලුත් ව්‍යවස්ථාවක් ගැන කතා කරන්න තියෙනවා. අපේ විදේශ ප්‍රතිපත්තිය අනුව අපි කාගෙවත් හිරකරුවන් වුණේ නෑ. මේ ආණ්ඩුවෙන් වෙලා තියෙන්නෙ හිරකරුවන් බවටත් වඩා අපි හිඟන්නන් බවට පත් කරලා. ණය ගෙවන්න බැරි හිඟන්නන් බවට අපි පත්කරලා තියෙන්නෙ. හිඟාකන්නත් දැන් ගෙවල්වලට යන්න බෑ, චීනෙට හැර. ඉතිං අපට යන්න තැනක් නැතිවෙලා තියෙන්නෙ" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ ඊයේ (28) අන්තර්ජාලය ඔස්සේ පැවති දේශපාලන සාකච්ඡාවකට එක්වෙමිනි.

(LNW)