Friday, April 19, 2024
Follow Us
ජාතික එකඟතාවක් නැතිව මේ රට ගොඩගන්න බැහැ - හිටපු ජනපති මෛත්‍රී

ජාතික ප්‍රතිපත්ති ගැන එකඟතා ඇති කර ගැනීමට මේ රටේ කිසිම ආණ්ඩුවකට හැකි වී නැති බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේය.

හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද (28) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පවතී කම්කරු වෘත්තීය සමිති සමඟ පැවති සාකච්ජාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ප්‍රතිපත්ති, සැලසුම් කොතෙකුත් හැදුවද ජාතික එකඟතාවක් නොමැති නම් ඒ කිසිදු දෙයක් සාර්ථක නොවන බවයි හෙතෙම සඳහන් කළේ.

''එක ආණ්ඩුවක් බලයට පත් වුණාම කලින් ආණ්ඩුව කළ හොද දේවලුත් ඔක්කොම අමතක කරලා දානවා. අලුතෙන්ම ආපහු වැඩ පටන් ගන්නවා. ඇමතිවරයෙක් අමාත්‍යාංශය මාරු වුණහමත් කලින් හිටපු ඇමතිවරයා කළ දේවල් පැත්තකින් තියල ආපහු මුල ඉදන් පටන් ගන්නවා. නමුත් ඉන්දියාව වගේ රටක් ගත්තොත් ආණ්ඩු වෙනස් වුණාට විශේෂයෙන් පත්කරලා තිබෙන කොමිෂන් සභා,විශාල බලතල තිබෙන ප්‍රතිපත්ති සහ සැලසුම් සම්බන්ධයෙන් ආණ්ඩු වෙනස් වුණාට වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා මේ රට අද තියෙන තත්ත්වයෙන් ගොඩගන්න පුළුවන්,අද අපි පවතින රජයට සහයෝගය දෙනවා වගේම අපේ අදහස අර විදිහේ පිළිවෙලකට යා යුතුයි. ජාතික එකඟතාවයන් ඇතිකරගන්නේ නැතුව මේක කරන්න බැහැ.''

පවතින රජයට සහයෝගය දෙනවා සේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද රට තුළ ශක්තිමත් කරන බව මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කරන ලදී.

(LNW)