Thursday, May 16, 2024
Follow Us
ජනපති - ශ්‍රීලනිප සාකච්ඡා අස්සේම පොහොට්ටු ලේකම් සාගරගෙන් ශ්‍රීලනිපයට ටොක්කක් !

වත්මන් ආණ්ඩු පක්ෂ සන්ධානයෙහි ප්‍රධාන පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නොව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බව ශ්‍රීලනිපය සිහියේ තබාගත යුතුයැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා අවධාරණය කරයි.

"ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමහරක් මන්ත්‍රීවරු තාමත් ඉන්නේ අර කලින් හිටපු මානසිකත්වයේ. ඒ කියන්නෙ ඔවුන් ප්‍රධාන පක්ෂය කියන මානසිකත්වයේ ඉන්නවා. මොකද මීට කලින් පැවති සන්ධානවල හැමතිස්සෙම ප්‍රධාන පක්ෂය හැටියට හිටියෙ ශ්‍රීලනිපය. එතකොට ඔවුන්ට ඒ සන්ධාන තුළ තිබිච්ච බලය බොහොම වැඩියි. නමුත් මේ වනවිට ශ්‍රීලනිපය සන්ධානයේ ප්‍රධාන පක්ෂය නෙවෙයි. සන්ධානයේ ප්‍රධාන පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ.

ඉතිං මං හිතන්නෙ ඒ කාරණය දේශපාලන පරිණතභාවයක් තියෙන එතන ඉන්න නායකයො තේරුම් අරන් තියෙනවා. සමහර අය ඒක තේරුම් අරන් නැතුව විවිධ ප්‍රකාශ කරනවා. නමුත් මං හිතන්නෙ මේ සියල්ල විසඳාගෙන සුබවාදී ලෙස ඉස්සරහට යන්න පුළුවන් වෙයි කියලා අපි පක්ෂයක් හැටියට විශ්වාස කරනවා, ප්‍රාර්ථනා කරනවා"

ප්‍රශ්නය - ඒ කියන්නෙ ඔබතුමන්ලා එක්ක ඉන්න අනිත් පක්ෂ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මතයට යටත්වෙලා ඉන්න ඕනෙ කියන එකද ?

"නෑ. මතයට යටත් වීමක් නෙවෙයි. මතයක් දැරීමේ හැකියාව සෑම පක්ෂයකටම තියෙනවා. ඒක නෙවෙයි මෙතන තියෙන කාරණය. මෙතෙන්දි අර සන්ධානගත වුණාම පක්ෂ කීපයක් ඒ ප්‍රධාන පක්ෂයක් වටා තමයි සන්ධානගත වීම සිදුවෙන්නෙ. මේ අවස්ථාවේදී ප්‍රධාන පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ. එතකොට විවිධ තනතුරු ලැබීමේදී හා විවිධ කරුණුවලදී ඒ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ යම්කිසි කරුණු කාරණාවලට කිසියම් වූ අනුකූලතාවයක් දක්වන්න අනිත් පක්ෂවලටත් සිදුවෙනවා"

සාගර කාරියවසම් මහතා මේ බව පැවසුවේ ඊයේ (26) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ශ්‍රීලනිපය අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ දහවල් පැවැත්වෙන අතරේම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්වරයා ශ්‍රීලනිපයට මෙසේ ප්‍රහාරයක් එල්ල කිරීම විශේෂත්වයකි.

(LNW)