Thursday, May 16, 2024
Follow Us
මුදල් සංශෝධන පනත් කෙටුම්පතට තවත් පෙත්සම් 3ක්

මුදල් ඇමැතිවරයා ඉකුත් ජුලි 20 වැනිදා පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කරන ලද ‘මුදල් සංශෝධන පනත් කෙටුම්පත’ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට සහ එය පාර්ලිමේන්තුවේ 2/3ක බහුතරයකින් පමණක් නොව ජනමත විචාරණයකින්ද සම්මත විය යුතු බවට තීන්දු කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට ඊයේ (26වැනිදා) තවත් පෙත්සම් 3ක් ගොනු කෙරිණි.

සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, රාජ්‍ය සේවා ජාතික වෘත්තීය සංගමයේ සභාපති එජාප හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය, ලංකා බැංකු සේවක සංගමයේ හිටපු සභාපති කෝට්ටගේ විතාන වෙන වෙනම පෙත්සම් ගොනුකර තිබිණි.

මුදල් විශුද්ධිකරණ පනත මත්ද්‍රව්‍ය පනත සහ අල්ලස් හා දූෂණ විමර්ශන පනත යටතේ දඬුවම් ලැබූ පුද්ගලයන්ගේ අපරාධ සුජාත කිරීමක් යෝජිත සංශෝධන පනත් කෙටුම්පතේ 2(2) වගන්තියෙන් සිදුකර ඇති බවත්, නීති විරෝධී ලෙස උපයා ගත් මුදල් නීත්‍යානුකූල කරගෙන භාවිත කිරීමට සැලසුම්කර ඇති බවත් පෙත්සම්වලින් කියා සිටිති.

මෙතෙක් හෙළි කර නැති වත්කම් සහ ආදායම් ප්‍රකාශයට පත්කරන පුද්ගලයන්ට සහන ලබාදෙන රෙගුලාසි පනත් කෙටුම්පතට ඇතුළත් කර ඇත. වංචනික ලෙස මුදල් රැස්කර ගත් අයට ඒවා නීත්‍යානුකූල කර ගැනීමට පමණක් නොව කළ වැරදිවලට දඩ ගෙවීම් සහ වෙනත් දඬුවම්වලින් නිදහස්වීමට ද යෝජිත පනත් කෙටුම්පතින් අවස්ථාව සලස්වා ඇති බව පෙත්සම් මගින් තර්ක කරයි.

ඊට අමතරව රහසිගතව උපයා ගත් වත්කම් සහ ආදායම් හෙළි කරන තැනැත්තන්ගේ නම් කිසිවකුට දැන ගැනීමට නොහැකි වෙන පරිදි රහසිගතව රැකදීමටද වංචා සහගත ලෙස රැස්කර ගත් වත්කම් සහ ආදායම් 2021 දෙසැම්බර් 21 වැනිදා පසුව කොටස් වෙළෙඳපෙළේ, මහ බැංකුවේ බැඳුම්කරවල ආයෝජනය කර ඒවා නිත්‍යානුකූල වත්කම් බවට පත්කර ගැනීමට පනත් කෙටුම්පතේ රෙගුලාසිවලින් අවස්ථාව සලස්වාදී ඇති බවද පෙත්සම්වල වැඩිදුරටත් සඳහන් කර ඇත.

(Aruna)