Saturday, November 08, 2025
Follow Us
නිදහස් අධ්‍යාපනයට අත තියන්න කාටවත් ඉඩදෙන්නේ නෑ. කොතලාවල ඇකඩමිය තියෙන විදියටම තියන්න - සජිත්

මෙරට නිදහස් අධ්‍යාපනයට අතතැබීමට මොනම ආකාරයේ බලවතෙකුට හෝ කණ්ඩායමකට ඉඩ නොතබන බවත් සමගි ජන බලවේගය පක්ෂයක් වශයෙන්ම නිදහස් අධ්‍යාපනය හදවතින්ම සුරකින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි.

"පක්ෂයක් හැටියට අපි නිදහස් අධ්‍යාපනය හදවතින්ම සුරකිනවා. මොනම ආකාරයකින්වත් මේ රටේ නිදහස් අධ්‍යාපනයට කිසිම බලවතෙකුට කිසිම පුද්ගලයෙකුට කිසිම කණ්ඩායමකට අත තියන්නට අපි ඉඩතියන්නේ නෑ. කොතලාවල ප්‍රශ්නය තුළ අපි බොහොම පැහැදිලිව කියනවා ආරක්ෂක ක්ෂේත්‍රයට, ආරක්ෂක අංශවලට ඒ කරගෙන ආපු වැඩසටහන එලෙසම කරගෙන යන්නට අපි ඉඩ ලබාදිය යුතුයි. නමුත් රජය අදහස් කරන ආකාරයට එය නිදහස් අධ්‍යාපනයත් සමග බද්ධ කිරීමෙන් මොනම ආකාරකින්වත් නිදහස් අධ්‍යාපනය කෙළෙසන්නට අපි ඉඩ තබන්නේ නෑ.

එනිසා බොහොම පැහැදිලි පණිවිඩයක් රටටත් රජයටත් අපි ලබාදෙනවා, හොඳට මතක තියාගන්න සමගි ජන බලවේගය කියන්නේ යූඑන්පීය නෙවෙයි. එක්සත් ජාතික පක්ෂය නෙවෙයි. සමගි ජන බලවේගයට නව ලිබරල්වාදීද, සමාජවාදීද, දක්ෂිණාංශිකද, වාමාංශිකද, මේ වගේ ලේබල්වලට අපි කොටුවෙන්නෙ නෑ. අපි එකපැත්තකට කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨයට එලෙසම ආරක්ෂක අංශවලට මෙතෙක් ලබාදුන් අධ්‍යාපනය එලෙසම කරගෙන යාමට ඉඩ ප්‍රස්තාව ලබාදෙන අතරතුර අබමල් රේණුවකින්වත් අපේ රටේ නිදහස් නිවහල් ස්වාධීන අධ්‍යාපන ක්‍රමයට හානියක් අගතියක් වෙන්න අපි ඉඩ තබන්නේ නෑ. අපි පක්ෂයක් හැටියටම ඒකට සූදානම් නෑ.

ඒ පණිවිඩය මේ රටේ ප්‍රගතිශීලී ජනතාවට ලබාදෙමින් නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කරමින් මේ රටේ අධ්‍යාපන ක්‍රමය තුළ විවිධ හේතූන් මත හැළෙන කොට්ඨාසයන්ට තමන්ගෙ නැතිබැරිකම තුළ උසස් අධ්‍යාපන ගමනේ ඉදිරියට යන්නට බැරිවෙන කොට්ඨාසය සවිබල ගන්වමින් මේ රටේ දරු පරපුරට වැඩියෙන් උසස් අධ්‍යාපන අවස්ථා නිර්මාණය කරන්නට අපි අනිවාර්යයෙන්ම කටයුතු කරනවා" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ ඊයේ (24) සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයින් පිරිසක් සමග පැවති සාකච්ඡාවක් අමතමිනි.

(LNW)