Monday, April 29, 2024
Follow Us
රිෂාඩ්ගේ බිරිඳ ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රි රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ සේවයේ යෙදී සිටි දැරිය පිළිස්සී මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා මන්ත්‍රිවරයාගේ බිරිඳ වන අයේෂා බදියුදීන් බොරැල්ල පොලිසියට ඊයේ (22 වැනිදා) සවස කැඳවා තිබිණි.

මේ අනුව සිද්ධියට අදාළව මන්ත්‍රීවරයාගේ බිරිඳ, ඇයගේ පියා සහ දැරිය රැගෙන ආ තැරැව්කරු අත්අඩංගුවට ගෙන තිබේ.
දැරියගේ මව ඇතුළු ඥාතීන්​ගේ ප්‍රකාශනයන් සහ රිෂාඩ් බදියුදීන්ගෙන් බිරිඳ මීට ඉහතදී ලබාදුන් ප්‍රකාශ එකිනෙක පරස්පරවීම හේතුවෙන් මෙලෙස ප්‍රකාශයක් ලබාදීමට බොරැල්ල පොලිසියට පැමිණෙන ලෙස ඇයට දැනුම් දී තිබුණි. ඒ අනුව බොරැල්ල පොලිසියට ඇය ඊයේ (22 වැනිදා) පස්වරුවේ පැමිණියාය.

මේ අතර මෙම සිද්ධියට අදාළ පරීක්ෂණවලට අවශ්‍ය උපදෙස් ලබාදීම සඳහා නීතිපතිවරයා රජයේ නීතිඥවරු කණ්ඩායමක් පත්කර ඇත. නීතිපති සංජය රාජරත්නම් විසින් ඊයේ (22දා) බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු මෙම සිද්ධියට සම්බන්ධ විමර්ශන මෙහෙයවන නිලධාරීන් කණ්ඩායම නීතිපති දෙපාර්තමේන්තුව වෙත කැඳවා සාකච්ඡාවක් පැවැත්වීමෙන් අනතුරුව මෙම පියවර ගෙන තිබේ.

මෙම සාකච්ඡාවේදී අදාළ දැරියගේ මරණයට අදාළව දැනට සිදුකර තිබෙන පරීක්ෂණවල ප්‍රගතිය පිළිබඳව පොලිස් නිලධාරීන් විසින් නීතිපතිවරයා දැනුවත් කර තිබේ.

ඒ අනුව මීට අදාළ නෛතික කටයුතු සහ විමර්ශන සඳහා පොලිසියට අවශ්‍ය උපදෙස් ලබාදීම සඳහා නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස්ගේ ප්‍රධානත්වයෙන් යුත් රජයේ නීතිඥ මණ්ඩලයක් පත්කර තිබෙන බවද නීතිපති දෙපාර්තමේන්තු ආරංචිමාර්ග පවසයි.

මේ අතර බෞද්ධාලෝක මාවතේ පිහිටි හිටපු ඇමැති රිෂාඩ් බදියුදින්ගේ නිවසේ සේවය කළ තවත් සේවිකාවන් දෙදෙනකුගෙන් පොලිසිය ප්‍රකාශ ලබාගෙන ඇත.

මෙම දෙදෙනා මියගිය දැරිය සේවයට රැගෙන ඒමට පෙර එම නිවසේ සේවය කර ඇත. එම දෙදෙනා දැනට වයස අවුරුදු 21 හා 32 වයස්වල අය බව පොලිසිය කියයි. කොළඹ දකුණ කොට්ඨාස අපරාධ ඒකකය හා ළමා හා කාන්තා කාර්යාංශයත් බොරැල්ල පොලිසියත් බෞද්ධාලෝක මාවතේ නිවසේදී ගිනිගෙන මියගිය දැරියගේ මරණයට හේතු සොයා කරන විමර්ශනයේදී හිටපු මෙහෙකාරියන්ගෙන්ද ප්‍රකාශ ලබාගෙන ඇත. ඩයගම පිහිටි මියගිය දැරියගේ ගමට ගොස් මව, සුළු පියා, සහෝදර සහෝදරියන්ගෙන්ද පෙරේදා (21දා) ප්‍රකාශ ලබා ගැනීමට කොළඹින් ගිය පොලිස් කණ්ඩායම් කටයුතු කළහ. මෙම දැරියගේ මරණ පරීක්ෂණය ලබන 28දා පැවැත්වීමට නියමිතය.

(Aruna)