Saturday, November 08, 2025
Follow Us
බදියුදීන්ගේ නිවසේ පෙර සේවය කළ මෙහෙකරුවනුත් පොලීසිය සොයා ගනී

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ සේවය කළ 16 හැවිරිදි දැරියක් මියයාම සම්බන්ධයෙන් තවත් පුද්ගලයින් 08 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ දැරියගේ ඥාතීන් සහ මෙම නිවසේ මීට පෙර සේවය කළ සේවිකාවන්ගෙන් ද ප්‍රකාශ සටහන් කර ගෙන ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් අංශ කිහිපයක් ඔස්සේ සිදුකරන පරීක්ෂණ සම්බන්ධයෙන් ද මෙලෙස පැහැදිළි කෙරුණා.

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ සේවය කළ මෙම බාලවයස්කාර දැරිය ඉකුත් දා රෝහල් ගත කර තිබුණේ පිළිස්සුම් තුවාල සමගයි.

පසුව ඇය කොළඹ ජාතික රෝහලේදී මියගියා. පශ්චාත් මරණ පරික්ෂණයේදී අනාවරණ වුණේ මෙම දැරිය කලක සිට ලිංගික අපයෝජනයට ලක්ව ඇති බවයි.

ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පොලිස් පරීක්ෂණ ආරම්භ කෙරුණා. දැරියගේ මව ඇතුළු පවුලේ ඥාතීන් පැවසුවේ මෙම මරණය සැක සහිත බවයි.

මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් කාන්තා හා ළමා සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශය මගින් ද විධිමත් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත පැවසුවේ.

(Neth)