Tuesday, May 07, 2024
Follow Us
බදියුදීන්ගේ නිවසේ සේවය කළ දැරියගේ මරණය ගැන සැඟවුන කතාවක්

මෙහෙකාර සේවයේ යොදවා සිටියදී පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ දී පිළිස්සුම් තුවාල ලබා මියගිය දැරිය සම්බන්ධයෙන් තවත් තොරතුරු රැසක් අනාවරණය වී ඇති බව පොලීසිය පවසයි.

පිළිස්සුම් තුවාල ලබා මියගිය දැරියට දීර්ඝ කාලයක සිට ලිංගික ප්‍රවේශයක් සිදුවී ඇති බවට පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනාවරණය වී ඇත.

බොරැල්ල පොලිස් වසමේ බෞද්ධාලෝක මාවත ප්‍රදේශයේ පිහිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ සේවය කළ අදාළ දැරිය පසුගිය ජුලි 3 වනදා පිළිස්සුම් තුවාල සහිතව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබුණි.

ප්‍රතිකාර ලබමින් සිටි එම දැරිය පෙරේදා (15) මිය ගොස් තිබුණි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරන්නේ එම දැරියගේ පශ්චාත් මරණ පරීක්ෂණයේ සඳහන් කරුණු සම්බන්ධයෙන් පොලීසිය තවදුරටත් විමර්ශන සිදුකරන බවය.

බොරැල්ල පොලීසිය සහ කොළඹ දකුණ ළමා හා කාන්තා කාර්යාංශය විසින් අදාළ විමර්ශන සිදුකරන අතර ඩයගම ප්‍රදේශයේ පදිංචි එම දැරිය 2020 වසරේ ඔක්තෝබර් මාසයේදී මෙම නිවසට රැගෙනවිත් ඇති බවටද අනාවරණය වී තිබේ.

එලෙස රැගෙන එන විට දැරියගේ වයස අවුරුදු 15යි මාස 11ක් බව හෙළිවී ඇති බව ද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

(Aruna)