Sunday, May 05, 2024
Follow Us
ව්‍යවස්ථාවෙන් දී තිබෙන අයිතිය ආණ්ඩුවේ චක්‍රලේඛයකින් හෝ නියෝගයකින් වෙනස් කරන්න බැහැ - තිස්ස

මේ වන විට ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට රජය බාධාකරමින් සිටින අතර එම බාධා කිරීම කරන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවතින නීතියකින් නොව ආණ්ඩුව සාදා ගත් නිරෝධායන නීති යටතේ වන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසයි.

එය සම්පූර්ණයෙන් නීති විරෝධිවන අතර ජනතාව බලහත්කාරයෙන් නිරෝධායනය කිරීමට හෝ විරෝධතා නැවත්වීමට නොහැකි බව මන්ත්‍රීවරයා සඳහන් කරයි.

ආණ්ඩුව ,එලෙස කටයුතු කරමින් සිටින්නේ ඔවුන්ට රට පුරා එල්ල වී තිබෙන විරෝධය හේතුවෙන් බවයි අත්තනායක මහතා පැහැදිලි කරන්නේ.

ආණ්ඩුවේ මර්දනයට හසු වීමට ජනතාවට ඉඩ නොතබන අතර එම මර්දනයන්ට එරෙහිව පෙනී සිටින බවද හෙතෙම කියාසිටියි.

''ආණ්ඩුවයි නීති කඩන්නේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනතාවට දීලා තියෙන අයිතිය වෙනත් නීතියකින් යටපත් කරන්න පුළුවන් කමක් නැහැ. ආණ්ඩුව හදාගත්ත චක්‍රලේඛවලටවත් ආණ්ඩුව සහ පොලීසිය දෙන නියෝගවලටවත් මේ රටේ ජනතාව යටපත් කරන්න අපි ඉඩ දෙන්නේ නැහැ. පහුගිය සතියේ අපි දුටුවා ස්වාමීන් වහන්සේලා,වෘත්තීය සමිති නායකයින් සහ අනෙකුත් මහජනතාව තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්න ඉදිරිපත්වෙන කොට ආණ්ඩුව පොලීසිය යොදවල මර්දනය කරන්න උත්සහ කරනවා. මෙහෙම මිනිස්සු ඇදගෙන යන්න බැහැ. තිරිසන්නු වගේ මිනිස්සුන්ට සලකන්න බැහැ. ඒ වගේම උසාවියෙන් ඇප දුන්නහම එළියට එනකොට බලාගෙන ඉඳලා නිරෝධායන පනත යටතේ කියල අත්අඩංගුවට ගන්නවා. මේක සම්පූර්ණයෙන්ම වැරදියි.'' යනුවෙන් මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

(LNW)