Sunday, May 05, 2024
Follow Us
බදුයුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ සිටි දැරිය පිලිස්සුම් තුවාල ලබා මියගිහින්

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාරකමට ගෙන සිටියදී බරපතළ පිලිස්සුම් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර සිටි දහසය හැවිරිදි දැරිය ඊයේ (15 වැනිදා) දහවල් මියගොස් ඇත.

ඉෂාලිෆි ජුඩි කුමාර් නමැති 2004 නොවැම්බර් දොළොස්වැනිදා උපත ලද මෙම දැරිය මෙම නිවසේ මෙහෙකාරකමට ගෙන ඇත්තේ වයස අවුරුදු 15කුත් මාස එකොළහේදීය.

දැරිය මියයන විට වයස අවුරුදු දහසයකුත් මාස අටක් විය.

රිෂාඩ් බදියුදීන්ගේ නිවසේදී ගිනි ඇවිලීමක් නිසා මෙම දැරිය රෝහල්ගත කර තිබුණේ ජූලි 03 වැනිදාය.

මෙම සිද්ධිය සම්බන්ධව රිෂාඩ් බදියුදීන්ගේ බිරිඳගේ මව හා පියා, සේවකයෙක් ඇතුළු හත්දෙනෙකුගෙන් පොලිසිය ප්‍රකාශ ලබාගෙන ඇත.

සිරුරට ගිනි ඇවිලුණු බව කියන මොහොතේ දැරියගේ ඇඳ අසල තිබී සොයා ගත් භූමිතෙල් බෝතලයක් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට බොරැල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දුමින්ද බාලසූරිය පියවර ගෙන ඇත.

මෙම මරණය සම්බන්ධව පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා මරණයට හේතුව සේවීමට පොලිස් පරීක්ෂණ ඇරඹී ඇත.

මියගිය දැරිය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදුකරන ලෙස අධිකරණය, අධිකරණ වෛද්‍ය නිලධාරියාට ඊයේ (15වැනිදා) නියෝග කළේය.

(Aruna)