Sunday, May 05, 2024
Follow Us
ආණ්ඩුවට පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවන් හොයන්න බෑ. හෙව්වොත් එයාලාමයි මාට්ටු වෙන්නෙ - නලින්

වත්මන් රජයට පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවන් සෙවීමට කිසිදු වුවමනාවක් හෝ හැකියාවක් නොමැති බවත් එම ප්‍රහාරයේ සැබෑ මහමොළකරුවන් හෙළිදරව් නොකර ආණ්ඩුව එයින් ලිස්සා යමින් සිටින බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසයි.

"දැන් අපි දැක්කා පාස්කු ප්‍රහාරය සම්බන්ධව ඊයෙත් කාදිනල්තුමා බරපතළ ප්‍රකාශයක් කරලා තියෙනවා. මේක අපි අද ඊයෙ නෙවෙයි කියන්නෙ, දිගින් දිගටම කියපු කතාවක් තමයි පාස්කු ප්‍රහාරය සම්බන්ධව සැබෑ මහමොළකරුවන් සොයාගැනීමේ වුවමනාවක් රජයට නැහැයි කියන එක. එය යටපත් කිරීමේ වුවමනාවක් තමයි තියෙන්නේ. පොඩි පොඩි හාල්මැස්සො ටිකක් නීතියේ රැහැනට හසුකරලා තමන්ගෙ මේ කුමන්ත්‍රණයට සහාය වුණු අය බේරලා කටයුතු කිරීමේ වුවමනාවක්.

ඉතිං අන්තිමට කාදිනල් වහන්සේටත් ඊයෙ නැවත ප්‍රකාශයක් කරන්න සිද්ධ වුණා. එතුමා කිව්වා වගේ පැය 24න් 48න් 72න් තමයි ජනතාවට පොරොන්දු දුන්නෙ මේකෙ වැරදිකරුවන් අත් අඩංගුවට ගන්නවා කියලා. දැන් අන්තිමට අර අහක ඉන්න රිෂාඩ් බදූර්දීන් මහත්තයා තමයි ගිහිල්ලා කොටු කරලා තියාගෙන ඉන්නේ කාදිනල් උන්වහන්සේලාගෙ ඇපෙන් බේරෙන්න. එතන අධිකරණයේ විනිසුරුවරුන් කිහිපදෙනෙකුත් අයින් වුණා එතුමාගේ නඩුවෙන්. මොකද එතුමාව බිල්ලට දෙන්න උත්සාහ කරනවා, එතුමාව කොටු කරන්න උත්සාහ කරනවා නමුත් එතුමාට විරුද්ධව හරියට මොකුත් චෝදනාවක් නෑ. නඩුවකට නිමිත්තක් නෑ. කාදිනල් ස්වාමීන් වහන්සේගෙන් බේරෙන්න රිෂාඩ් මහත්තයාව දාලා හිරේ. හැබැයි සැබෑ මහමොළකරුවො සොයාගැනීමේ වුවමනාව ආණ්ඩුවට නෑ. මොකද හොයන්න බෑ. හොයන්න ගියොත් තමන්ව තමයි මාට්ටු වෙන්නෙ. ඒ නිසා තමයි මේකෙන් මේගොල්ලො ලිස්සලා යන්න කටයුතු කරන්නෙ කියන එක තමයි අපට පැහැදිලිවම පෙන්නුම් කෙරෙන්නෙ" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

නලීන් බණ්ඩාර මහතා මේ බව පැවසුවේ ඊයේ (14) විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

(LNW)