Sunday, May 05, 2024
Follow Us
බැසිල්ට ලැබුණේ හිස් භාණ්ඩාගාරයක්. එකපාර ප්‍රාතිහාර්ය පාන්න බෑ, ටික දවසකින් සහන දෙයි - ජගත්

බැසිල් රාජපක්ෂ මහතා මුදල් අමාත්‍ය ධුරයට පත්වූ සැණින් ඉන්ධන මිල අඩුකරනු ඇතැයි තමන් නොකී බවත් ඒ මහතාට ලැබුණේ හිස් වූ මහා භාණ්ඩාගාරයක් බැවින් ආදායම් උත්පාදනය කරගෙන ජනතාවට සහන දීමට කෙටි කාලයක් ගතවනු ඇති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පසුපෙළ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා පවසයි.

ප්‍රශ්නය - ඔබතුමන්ලා කිව්වා බැසිල් රාජපක්ෂ මැතිතුමා ආපු ගමන් තෙල් මිල අඩුකරනවා කියලා .. ?

"ඔව්, ආපු ගමන් කියන කාරණය නෙවෙයි. දවසෙන් ඇවිල්ලා හෙට මිල අඩුකරන්න පුළුවන්කමක් තියෙනවා නම් තීන්දුවක් විදියට, හැබැයි ඒකෙත් යම් ප්‍රශ්න එනවානෙ. ඒනිසා ආර්ථිකය යම් මට්ටමකට කළමනාකරණය කරලා, එතුමා දැන් තියෙන ආර්ථික තත්වය හොයලා බලන්න ඕනෙ, මොනවද තියෙන ගැටළු, ආදායම් උත්පාදනය කොහොමද .... මොකද එතුමාට ලැබුණෙ හිඟ භාණ්ඩාගාරයක්. හිස් භාණ්ඩාගාරයක්. හිස් භාණ්ඩාගාරයක් අරගෙන එතුමාට එකපාරට ප්‍රාතිහාර්යය පාන්න බෑ.

හැබැයි ඒ හිස් භාණ්ඩාගාරය ආදායම්වලින් පුරවාගන්න ගමන් විශාල බිලියන ගණන් ණය ගෙවන්න තියෙනවා ජාත්‍යන්තරයට. ජාත්‍යන්තරයට ණය ගෙවන ගමන් ජනතාවට සහන දෙන්න. අපි 69 ලක්ෂයක ජනවරමක් ගත්ත ආණ්ඩුවක් ජනාධිපතිතුමා ඇතුළු අපි සියලුදෙනා, එනිසා ජනතාවට සහන දීමත් අංක එකට දාලා කටයුතු කරන්න ඕනෙ. ඉතිං ඒ නිසා මේ සියල්ල කළමනාකරණය කරලා දින කිහිපයක් සති දෙක තුනක් යාවි. එතුමා සහන දෙයි කියලා දැඩි විශ්වාසයක් තියෙනවා. ඒ විශ්වාසය තුළ තමයි අපි කටයුතු කරන්නේ" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා මේ බව පැවසුවේ ඊයේ (14) දිනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

(LNW)