Sunday, May 05, 2024
Follow Us
මම රක්ෂණ සභාපති ධුරය බාරගන්නෙ නෑ - ජයන්ත කැටගොඩ

බැසිල් රාජපක්ෂ මහතාගේ පාර්ලිමේන්තු ආගමනය වෙනුවෙන් සිය ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය පරිත්‍යාග කිරීමට ඉදිරිපත් වූයේ ජයන්ත කැටගොඩ මහතායි. ඔහු පසුගිය මහ මැතිවරණයෙන් පසුව පාර්ලිමේන්තුවට තේරී පත් වූ අවස්ථාවේ සිටම පවසා තිබුණේ බැසිල් රාජපක්ෂ මහතා වෙනුවෙන් ඕනෑම අවස්ථාවක ඉල්ලා අස්වීමට සූදානම් බවයි.

කැටගොඩ මහතාගේ පරිත්‍යාගය වෙනුවෙන් ඔහුට ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සභාපති ධුරය යෝජනා වී තිබෙනවා. ආණ්ඩුවේ නායකයන් එම යෝජනාව ඉදිරිපත් කළ අවස්ථාවේදී කැටගොඩ මහතා පවසා තිබෙන්නේ රක්ෂණ ක්ෂේත්‍රය පිළිබඳව ප්‍රමාණාත්මක අවබෝධයක් තමන්ට නොමැති බවයි. එම ආයතනය තුළ ක්‍රියාත්මක අතිශය සංකීර්ණ ක්‍රියාවලිය පිළිබඳව අවබෝධයක් නොමැතිව සභාපති තනතුර බාර ගැනීම රක්ෂණ සංස්ථාවට සිදු කරන හානියක් බවත්, අනෙක් පැත්තෙන් නොදන්නා ආයතනයක් තුළ පඹයෙක් මෙන් ක්‍රියා කිරීමට නොහැකි බවත් ඔහු පවසා තිබෙනවා.

තමා සිදුකළ කැප කිරීම වෙනුවෙන් රක්ෂණ සංස්ථාව වැනි වැදගත් ආයතනයක සභාපති තනතුර සඳහා තමාගේ නම‍ යෝජනා වීම ගෞරවයක් ලෙස සලකන බවත්, ඒ සම්බන්ධයෙන් ස්තුතිය පළකරන බවත් ඔහු පවසා තිබේ. කෙසේ නමුත් තමාගේ සීමාව දැනගෙන කටයුතු කළයුතු බවත් ඒ අනුව රක්ෂණ සංස්ථා සභාපති ධුරය බාරගත නොහැකි බවත් ඔහු අවධාරණය කර ඇත.

තනතුර බාර නොගත්තද කිසිවිටෙකත් පක්ෂය හා බැසිල් රාජපක්ෂ මහතා අත් නොහැර කටයුතු කරන බවද කැටගොඩ මහතා පවසා තිබෙනවා. පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් ඉදිරියටත් කටයුතු කරන බවයි ඔහු දැනුම් දී තිබෙන්නේ.

රක්ෂණ සංස්ථාවේ සභාපති ආචාර්ය ජගත් වැල්ලවත්ත මහතාගේ නම ගෑවී ඇති දූෂිත ගනුදෙනු හෙලිදරව්වීමත් සමග ඔහුට සභාපති ධුරය අහිමි වූ නමුත්, ඔහු තවමත් සභාපතිවරයා ලෙස කටයුතු කරමින් සිටින බවයි රක්ෂණ සංස්ථා ආරංචි මාර්ග පවසන්නේ. ඊයේ වනතුරුත් ඔහු දිගින් දිගටම සභාපති තනතුරේ රැඳී සිටීමට දැඩි පරිශ්‍රමයක් දරමින් සිට ඇති අතර ආයතනයෙන් ඔහුට හිමි වූ බෙන්ස් රථය ඇතුළු රථ වාහන පවා තවමත් ආයතනය වෙත බාර දී නොමැත. සිය හිතමිතුරන් සමග මධු පානයේ නිරතවෙමින් ඔහුගේ දුක්ගැනවිලි හිත මිතුරන් සමග ප්‍රකාශ කරමින් සිටින බවද වාර්තා වේ.

(LNW)