Saturday, November 08, 2025
Follow Us
පළාත් පාලන ඡන්දයට වෙනස්කම් රැසක් - සමාලෝචන කමිටුවෙන් නිර්දේශ

පලාත් පාළන මැතිවරණ ක්‍රමය සමාලෝචනය කිරීම සදහා පත් කළ කමිටුවේ අවසන් වාර්තාව රාජ්‍ය සේවා පලාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් වෙත අද පෙරවරුවේ භාරදී තිබෙනවා. ඒ, එම කමිටුවේ සභාපති, ඉඩම් අමාත්‍යංශයේ ලේකම් ආර් ඒ ඒ කේ රණවක විසින්.

පසුගිය රජය සමයේ හඳුන්වා දුන් පළාත් පාලන මැතිවරණ ක්‍රමවේදය හේතුවෙන් පැනනැගුණු ගැටලු විසදීම සඳහා යෝජනා ඉදිරිපත් කිරීමටයි අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් විසින් එම කමිටුව පත් කළේ. එම කමිටුවේ සෙසු සමාජිකයින් වූයේ ශ්‍රී ජවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සුදන්ත ලියනගේ සහ හිටපු අමාත්‍යංශ ලේකම් ජයලත් රවී දිසානයකයි. ප්‍රජාතන්ත්‍රවාදය නිසි පරිදි ඡන්ද විමසීමෙන් නිරූපණය නොවීම, පත්වන පළාත් පාලන ආයතන අස්තාවර වීම මෙන්ම සභික සංඛ්‍යාව වැඩිවීම වැනි අඩුපාඩු මගහරවාලමින් යෝජනා ඉදිරිපත් කිරීම කමිටුව වෙත පැවරුණා.

ඒ අනුව පසුගිය සංශෝධනය මගින් පළාත් පාලන ඡන්ද විමසීමට හඳුන්වා දී තිබූ 60/40 අනුපාතයට වූ මිශ්‍ර සාමානුපාතික නියෝජිත ක්‍රමය ඉදිරියේදී 70/ 30 අනුපාතය දක්වා වෙනස් කිරීමටයි එම කමිටුව යෝජනා කර ඇත්තේ. අස්ථාවර පළාත් පාලන ආයතන පද්ධතියක් නිර්මාණය වීමට ඇති ඉඩකඩ අවම කිරීම එහි අරමුණයි. යම්කිසි පක්ෂයකට සභියෙකු දිනාගැනීමට අවශ්‍ය වන්නේ නම් වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් සියයට 2.5 ක ඡන්ද ප්‍රමාණයක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් ලබා ගැනීම අත්‍යවශ්‍ය කරුණක් ලෙස කමිටුව විසින් යෝජනා කර ඇති අතර මින් පෙර එවැනි නියමක් පැවතුනේ නැහැ.

බහු මන්ත්‍රී කොට්ඨාශ සඳහා ඡන්දය භාවිත කිරීමේදී ඡන්ද පත්‍රිකා දෙකක් නිකුත් කිරීමට කමිටුව යෝජනා කර තිබෙනවා. එවැනි අවස්ථාවක එකම පක්ෂයකින් පමණක් තෝරා ගැනීමට මෙතෙක් දී තිබූ වරණය පක්ෂ දෙකක අපේක්ෂකයින් දෙදෙනෙක් වෙනුවෙන් භාවිත කිරීමට හැකිලෙස ප්‍රතිපාදන සකස් විය යුතු බවටයි කමිටුව විසින් යෝජනා කර ඇත්තේ. පළාත් පාලන බල ප්‍රදේශයක වැඩිම කොට්ඨාශ ප්‍රමාණයක් ජයග්‍රහණය කරන පක්ෂයට හෝ ස්වාධීන කණ්ඩායමට ප්‍රසාද ආසන දෙකක් ලබා දීමද කමිටුවේ තවත් යෝජනාවක්.

එමෙන්ම පවතින ක්‍රමය තුල පළාත් පාලන සභිකයින්ගේ අනවශ්‍ය වැඩිවීමක් පවතින බව හඳුනාගෙන ඇති අතර ඉදිරි පළාත් පාලන ඡන්ද විමසීමකදී අනිවාර්යයෙන් එම ප්‍රමාණය ආසන්න වශයෙන් 1000 කින් පමණ අඩුවිය යුතු බවටද යෝජනා වී තිබෙනවා.

(Neth)