Saturday, November 08, 2025
Follow Us
බැසිල් ඇවිල්ලා පැය 24 න් ඉන්ධන මිල අඩු කරනවා කියලා අපි කිව්වෙ නෑ - පොහොට්ටු ලේකම්

'ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඉහළ යනවිට රටතුළ ඉන්ධන මිල ඉහළ දැමීමට නම් ඇමතිවරයෙකු මොකටද ?' යන මතය ආණ්ඩුවේ ඇමතිවරුන් පවා ප්‍රකාශ කර ඇති බවත් එය නිවැරදි බව තමාද පිළිගන්නා බවත් පොදුජන පෙරමුණේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පවසනවා. හැකි පළමු අවස්ථාවේදීම ඉන්ධන මිල පහත දැමිය යුතු තමා සහ තම පක්ෂය තවදුරටත් විස්වාස කරන බවයි අද පැවති මාධ්‍ය හමුවකදී සාගර කාරියවසම් මහතා සඳහන් කළේ.

ඉන්ධන මිල හැකි වූ විගසම අඩු කරනු ඇති බවත් ඒ සම්බන්ධයෙන් ජනතාව බලාපොරොත්තු තබාගත යුතු බවත් මන්ත්‍රීවරයා පවසනවා.

බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිණි සැනින් ඉන්ධන මිල අඩුවන බවට සිදුකළ ප්‍රකාශයට කුමක් සිදුවූයේදැයි මාධ්‍යවේදීන් විමසා සිටි අතර ඊට ප්‍රතිචාර දක්වමින් සාගර කාරියවසම් මහතා සඳහන් කළේ තමා හෝ තම පක්ෂය හෝ එවැනි ප්‍රකාශයක් සිදු නොකළ බවයි. බැසිල් රාජපක්ෂ මහතා මන්ත්‍රීවරයෙකු හෝ ඇමතිවරයෙකු වී පැය 24 ක් තුළ ඉන්ධන මිල ඉහළ දමන බව නොපැවසූ බවත්, එසේ කිරීමේ හැකියාවක් නොමැති බවත් මන්ත්‍රීවරයා පවසනවා.

කෙසේ නමුත් ඉන්ධන මිල යළි පහළ දමා ජනතාවට සහන සළසනු ඇතැයි බලාපොරොත්තුවෙන් සිටින බවද ඔහු සඳහන් කරනවා.

(LNW)