Saturday, November 08, 2025
Follow Us
හිටපු මන්ත්‍රිනී හිරුණිකාට මිලියන 500ක ගෙවන්න සිදුවෙලා - අමාත්‍ය උදය ගම්මන්පිල

තමන්ට එරෙහිව අසත්‍ය ප්‍රකාශ කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍රට එරෙහිව පැවරූ නඩුවකින් රුපියල් මිලියන 500ක මුදලක් තමන්ට ගෙවීමට අධිකරණයෙන් ඇයට නියෝග ලබාදී ඇති බව අමාත්‍ය උදය ගම්මන්පිල ප්‍රකාශ කර සිටිනවා.

අධිකරණයෙන් ලබාදී ඇති තීන්දුව අනුව තමන්ට හිටපු මන්ත්‍රීවරියගේ දේපළ වෙන්දේසි කොට හෝ එම මුදල් ලබා ගැනීමට හැකි බවයි කොළඹ දී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියා.

" හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මැතිණිය විසින් 2015 ජූලි 2 දින මා පිළිබඳ අපහාසාත්මක ප්‍රකාශයක් කළා. මම ඒ ප්‍රකාශයෙන් මට සිදු වුණු හානියට රුපියල් මිලියන 500ක් වන්දි ඉල්ලා කොළඹ දිසා අධිකරණයේ 42/2016 මුදල් යන අංක දරණ නඩුව පැවරුවා. මට රුපියල් මිලියන 500ක් වන්දි ගෙවන්න කොළඹ දිසා අධිකරණය නියම කළාම හිරුනිකා මැතිණිය ඒ තීන්දුවට එරෙහිව කොළඹ සිවිල් මහාධිකරණයේ එල්ඒ 112/2018 අංකය යටතේ අභියාචනාවක් ගොනු කලා. 2020 නොවැම්බර් 25 දින මහාධිකරණය සිය තීන්දුව ප්‍රකාශ කරමින් දිසා අධිකරණයේ තීන්දුව තහවුරු කළා. හරි නම් දැන් හිරුනිකා මැතිණිය මට මිලියන 500ක් ගෙවන්න ඕනෑ. එසේ නොකරනවා නම් ඇයගේ දේපල වෙන්දේසි කර මගේ මුදල අය කර ගන්න මට පුළුවන්. ඇය මට පහර දීම නතර කර ඇති නිසා මම දේපල වෙන්දේසියකට ගියේ නෑ. මේ නඩුව සඳහා නොමිලේම පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මැතිතුමා ඇතුළු නීතිඥ කණ්ඩායමට මගේ ප්‍රණාමය පුද කරන්න මේක අවස්ථාවක් කර ගන්නවා." අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.

(Neth)