Saturday, November 08, 2025
Follow Us
මන්ත්‍රී කබිර් ගෙන් මිලියන 500ක් වන්දි ඉල්ලා ඇමති ගම්මන්පිල එන්තරවාසියක් යවයි

තමන්ට එරෙහිව අසත්‍ය ප්‍රකාශ සිදුකළ සමගී ජනබල වේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් ගෙන් රුපියල් මිලියන 500ක වන්දියක් ඉල්ලා එන්තරවාසියක් යොමු කර ඇති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල ප්‍රකාශ කර සිටිනවා.

අදාළ වන්දි මුදල ලබාදීමට කබීර් හෂීම් මන්ත්‍රීවරයාට ඉතිරිව ඇත්තේ හෙට දිනය පමණක් බවත් එම එන්තරවාසිය යවා හෙටට සති දෙකක කාලයක් සම්පුර්ණ වන බවයි උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා කියා සිටියේ.

" කබීර් මන්ත්‍රිතුමා බොහෝවිට මා ගැන බොරු කියන්නේ පාර්ලිමේන්තුවේ වරප්‍රසාද වලට මුවා වෙලා නිසා එතුමා කියන්නේ බොරු බව පෙන්වලා දෙනවා මිස ඊට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්න මට අවස්ථාවක් තිබුණේ නෑ. නමුත් මගේ වාසනාවට සහ එතුමාගේ අවාසනාවට 2021 ජූනි 18 දින එතුමා මා ගැන බොරු වැලක් මාධ්‍ය හමුවක දී ප්‍රකාශ කළා. මම අපේ අනන්‍යතාවය චීන සමාගමකට දීලාලු. කෝටි 1,000ක තෙල් ටැංකි හදන්න යනවාලු. තෙල් පිරිපහදුවේ අයිතිය විදේශිකයින්ට දෙන්න කැබිනට් පත්‍රිකාවක් දැම්මාලු. තෙල් ගේන්න සල්ලි නෑ කියලා බොරු කියනවාලු. ඔය වගේ බොරු එකක් දෙකක් නොවේ, බොරු වැලක්ම කිව්වා.

එක්කෝ තමන් කියූ දේ ඇත්ත කියලා ඔප්පු කරන්න. නැතිනම් රුපියල් මිලියන 500ක් සති දෙකක් ඇතුලත මට ගෙවන්න කියලා මම කබීර් හසීම් මන්ත්‍රිතුමාට එන්තරවාසියක් යැව්වා. 2021 ජූනි 29 දින එන්තරවාසිය යැව්වේ මිනෝලි ජයවර්ධන නීතිඥතුමියයි. හෙටට සති දෙක සම්පූර්ණයි. ගරු කබීර් මන්ත්‍රිතුමනි, ඔබට මට රුපියල් මිලියන 500ක් ගෙවීමට ඇත්තේ හෙට දවස පමණයි. හෙට දවස ඇතුලත රුපියල් මිලියන 500 නොගෙව්වොත් හිරුනිකා මැතිණියට වගේම ඔබටත් දිසා අධිකරණයේ නඩු පැවරීමට සිදු වෙනවා. මිලියන 500 අරගෙන මාව හම්බෙන්න ආවේ නැති උනොත් කබීර් හසීම් මැතිතුමනි අපි කොළඹ දිසා අධිකරණයේ දී හමුවෙමු කියලයි මට එතුමාට කියන්න වෙන්නේ" අමාත්‍ය උදය ගම්මන්පිල ප්‍රකාශ කර සිටියා.

(Neth)