Saturday, November 08, 2025
Follow Us
අමාත්‍යාංශ අනිත්‍යයයි, විශ්වාසභංගය අවිනිශ්චිතයි. මම මොකුත් කියන්න කැමති නෑ - ඇමති ගම්මන්පිල

මේ අනිත්‍ය ලෝකයේ අමාත්‍යාංශ පමණක් නිත්‍ය යැයි තමන් නොසිතන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

"මම අවිනිශ්චිත අනාගතය ගැන නිශ්චිත ප්‍රකාශ කරන්න කැමති නෑ. ඔබතුමාලා බලාගෙන ඉන්න 20 වෙනිදා හවස් වෙද්දී මොනවද වෙන්නෙ කියලා" යනුවෙනුයි විශ්වාසභංග යෝජනාව පිළිබඳ විමසීමේදී ඒ මහතා සඳහන් කළේ.

එසේම, බලශක්ති අමාත්‍යාංශයෙන් කොටස් ඉවත් කර වෙනත් අමාත්‍යවරුන්ට පිරිනැමීමේ සූදානම් පිළිබඳ පළව ඇති මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් විමසීමේදී ඒ මහතා සඳහන් කළේ "මං ඉපදෙනකොට අමාත්‍යාංශ අරන් ආවෙත් නෑ, මැරෙනකොට අරන් යන්නෙත් නෑ. මම කරපු පින් විතරයි අරන් යන්නේ. කරපු පින් තමයි අරගෙන ආවෙත්. ඒ නිසා මේ අනිත්‍ය ලෝකේ අමාත්‍යාංශ විතරක් නිත්‍යයයි කියලා මම හිතාගෙන නෑ. අගමැතිතුමාගේ නිර්දේශය මත ජනාධිපතිතුමාට ඕනෑම අමාත්‍යාංශයක් ඕනෑම ආයතනයක් වෙනස් කරන්න බලය තියෙනවා. ඕනෑම ඇමතිකෙනෙක් ඒ බලයට යටත්" යනුවෙනි.

අමාත්‍ය උදය ගම්මන්පිල මහතා මේ බව පැවසුවේ ඊයේ (11) හංවැල්ල බස්නැවතුම්පොල ඉදිකිරීමේ සමාරම්භක උත්සවයෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

(LNW)