අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව පනවා තිබුණු විදෙස් ගමන් තහනම ජුලි 31 වනදා දක්වා තාවකාලිකව ඉවත් කිරීමට කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය ඊයේ (08) නියෝග කළේය.
තමන්ට මේ මස 26 - 28 අතර කාලය තුළ ඉතාලියේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර සමුළුවට සහභාගී වීමට ආරාධනා ලැබී ඇති හෙයින් කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස ඊට සහභාගී වීම සඳහා විදෙස් ගමන් තහනම ඉවත් කරන ලෙස මහින්දානන්ද අලුත්ගමගේ මහතා සිය නීතීඥයින් මාර්ගයෙන් කළ ඉල්ලීමකට අනුව මෙසේ අධිකරණය විසින් එම තහනම ඉවත් කිරීමට කටයුතු කරන ලදී.
2015 ජනාධිපතිවරණය ආසන්නයේදී ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස රුපියල් කෝටි 5ක් වටිනා කැරම් බෝඩ් සහ දාම් බෝඩ් ආනයනය කර දේශපාලන කටයුතු සඳහා බෙදාහැරීම තුළින් රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කිරීමට අදාළව ඒ මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් මෙම නඩුව ගොනු කර තිබේ.
(LNW)