රිෂාඩ් බදූර්දීන් මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීමේදී එක පෙළට විනිසුරුවරුන් ඉල්ලා අස්වීම බරපතළ ලෙස ගැටළු සහගත බවත් මේ ආකාරයෙන් පෙත්සම් විභාගය කල්යාම හේතුවෙන් බදූර්දීන් මහතාට දින 73ක් දැනට රැඳවුම් භාරයේ සිටින්නට සිදුව ඇති බවත් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා ඊයේ (06) පාර්ලිමේන්තුවේදී පෙන්වා දුන්නේය.
"අලුත් ප්‍රහේලිකාවක් මතුවෙලා තිබෙනවා. අපි මේ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුතුමන්ලාට කවදත් ගරු කරනවා, එතුමන්ලාගෙ හේතු තියෙන්න පුළුවන් නඩුවෙන් බැහැර වීමක් පිළිබඳව. නමුත් පෝළිමට දැන් විනිශ්චයකාරවරුන් හතර දෙනෙක් දැන් නඩුවකින් බැහැර වී තිබෙනවා. මේ පිළිබඳව යම් නිශ්චිත ක්‍රමවේදයක් අවශ්‍යයි. අඩුම වශයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ අග්‍ර විනිශ්චයකාරතුමාවත් දැනුවත් විය යුතුයි විනිසුරු මඬුල්ලක් නම් කිරීමට පෙර මේ ගැන සොයාබලා මෙවැන්නක් සිදුනොවීමට කටයුතු කිරීමට. විනිසුරුවරුන් පෝළිමට ඉල්ලා අස්වෙනවා, මෙයින් අවසානයේ වෙලා තියෙන්නෙ රිෂාඩ් බදූර්දීන් මන්ත්‍රීතුමා දින 73ක් රැඳවුම් භාරයේ හිඳීමයි. මේ විනිසුරුවරුන් ඉල්ලා අස්වීමේ හේතුව මත පමණක් ඒ මහතාගේ මූලික අයිතිවාසිකම් පෙත්සම අවස්ථා ගණනාවකදී කල්ගිහින් තියෙනවා. මෙය බරපතළ අසාධාරණයක්. මේ හරහා අනවශ්‍ය ලෙස සැකයකුත් මතුවෙනවා යම් මැදිහත් වීමක් පිළිබඳව. ඒ නිසා අගවිනිසුරුතුමාව දැනුවත් කළයුතුයි මෙවැනි සිදුවීම් වළක්වා ගැනීමට කටයුතු කිරීමට" යනුවෙනුයි ඒ මහතා අධිකරණ අමාත්‍යවරයාගේ අවධානයට යොමු කරමින් පැවසුවේ.
ඊට පිළිතුරු දෙමින් "මම මේක දැක්කෙත් පත්තරෙන්. මට මේ සභාවේ වෙන දේවල් දැනුම් දෙන්න විතරයි පුළුවන්, අපට වෙන බලයක් නෑ අධිකරණයට මැදිහත් වෙන්න හෝ උපදෙස් දෙන්න. කෙසේවෙතත් මෙතන ගැටළුවක් තියෙනවා, මම එකඟයි ඒ සම්බන්ධයෙන්" යැයි අධිකරණ අමාත්‍ය මොහොමඩ් අලි සබ්‍රි මහතා ප්‍රකාශ කළේය.
(LNW)