ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යනු ආණ්ඩුවේ ප්‍රබල කොටස්කාරයෙකු නොව දුබල කොටස්කාරයෙකු බවත් ඔවුන්ට වඩා ප්‍රබල කොටස්කරුවන් ආණ්ඩුව තුළ සිටින බවත් රාජ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගම මහතා පවසයි.
"ඉස්සෙල්ලාම ඔබතුමන්ලාට පැහැදිලි කරන්න ඕනෙ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රජයේ ප්‍රබල කොටස්කාරයෙක් නෙවෙයි. ඒක රජයේ දුබල කොටස්කාරයෙක්. ප්‍රබල කොටස්කාරයො තව ඉන්නවා එකඟවුණ. මේක තමයි ඇත්ත කතාව. ඒක නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කොහෙත්ම මේ ආණ්ඩුවේ ප්‍රබල කොටස්කාරයෙක් නෙවෙයි.
ආණ්ඩුවේ තීන්දුවලට එකඟ නොවෙන අය ඉන්නවා නම් මගෙ අදහස නම් ඒ අය වහාම ආණ්ඩුවෙන් යායුතුයි. මොකද රජයක් හැටියට ගන්න තීන්දු ඇතුළේ ඉඳලා විවේචනය කරන්න කිසි කෙනෙකුට අයිතියක් නෑ. දැන් මම නම් මට මොන ඇමතිකම දුන්නත් මගේ විෂයට මම ගරහන්නෙ නෑ. මම ඒ විෂය ගොඩදාන්නයි උත්සාහ කරන්නෙ. නමුත් එතුමා තමන්ට බාර විෂයටම ගරහන එක ඉතාම පහත් තත්වයක්" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.
දිළුම් අමුණුගම මහතා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතාව විවේචනය කරමින් ශ්‍රීලනිප මහලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පසුගියදා කර තිබුණු ප්‍රකාශය සම්බන්ධයෙන් ඊයේ (05) අදහස් දක්වමිනි.
(LNW)