Sunday, November 09, 2025
Follow Us
ආර්ථික අර්බුදය බරපතළයි. තරුණයින් ඉච්ඡාභංගත්වයට පත්වෙලා - ශ්‍රීලනිපය ආණ්ඩුවේ පතුරු අරී !

රටේ ආර්ථික තත්වය බරපතළ පසුබෑමකට ලක්ව තිබෙන බවත් වත්මන් රජය බලයට ගෙනඒමට වෙහෙසුණු තරුණ කොටස් සිය බලාපොරොත්තු කඩවීමෙන් ඉච්ඡාභංගත්වයට පත්ව ඇති බවත් පවසමින් ආණ්ඩුව කෙරෙහි දැඩි විවේචනයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යේෂ්ඨ උපසභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා එල්ල කරයි.

"සියලුම ආර්ථික විද්‍යාඥයින්, සියලුම කෘෂි විද්‍යාඥයින් අදහස් පළ කරමින් තිබෙනවා මේ රටේ යම් ආකාරයක ගැටළුවක් නිර්මාණය වෙමින් තිබෙනවාය කියලා. කොච්චර බරපතළද කිව්වොත් එහෙම මේ වනවිට අපේ විනිමය සංවිත දීර්ඝ කාලීන යුද්ධයක් තියෙන ඇෆ්ඝනිස්ථානයටත් වඩා බරපතළයි. මේ රුපියල් 5000 දෙන්නේ මුදල් අච්චු ගහලා. මේ මුදල් අච්චු ගැහීමේ කෙළවරක් තියෙන්න ඕනෙ. මුදල් අච්චු ගහනවා කියන්නෙ උද්ධමනය ඉහළ යනවා, බඩු මිල ඉහළ යනවා. දැන් අද වෙළඳපොලේ සියලුම භාණ්ඩ සබන් කැටේ ඉඳන් ඉහළ යනවා.

ඒ අතරතුර විනිමය සංචිත සීමා වීමත් සමග දැන් කියනවා තවදුරටත් මම දැක්කා මාධ්‍යවල තියෙනවා ලංකාවට ආනයනය කරන භාණ්ඩ රැසක් සීමා කිරීමට කටයුතු කරනවායි කියලා. මම හිතන්නෙ මේ මධ්‍යයේ තමයි ජනතාව කළකිරෙන්න පටන් අරන් තියෙන්නෙ. ඇමතිවරුන්ට බලවතුන්ට වාහන ආනයනය කරනවායි කියලා ජනමාධ්‍ය ඊයෙත් වාර්තා කරලා තිබුණා ප්‍රධාන සංස්ථා සභාපතිවරයෙකුට කෝටි ගාණක් වටිනා වාහනයක් දුන්නායි කියලා. අද වෙනකොට ජනතාව කතා කරනවා කෝ අර බැඳුම්කර වංචාවට දඬුවම් කරනවැයි කිව්වේ, නමුත් ඒ බැඳුම්කර වංචාකරුවන්ගේ විශාල බදු වංචා යටගහලා ඔවුන්ට අවසර දීලා තියෙනවා ව්‍යාපාර කටයුතු කරන්න.

ඉතිං මම හිතන්නෙ ආණ්ඩුව කෙරෙහි යම් බලාපොරොත්තුවක් තිබුණු විශේෂයෙන්ම තරුණ පරම්පරාව චිත්‍ර ඇඳපු තරුණයෝ, පුරන් කුඹුරු වගාකරපු තරුණයෝ කෝ අද ? මං හිතන්නෙ මේ ඉච්ඡාභංගත්වය බරපතළ ගැටළුවක්. ඉතිං මේ සමාජ ඛේදවාචකය යම් ආකාරයකට උත්සන්න වෙමින් තිබෙනවා, මේ පිළිබඳ වගකීමකින් කටයුතු කිරීමේ අවශ්‍යතාවයක් සෑම දේශපාලන පක්ෂයකටම තියෙනවා. ඉතිං මං හිතන්නෙ මේ කාරණය ගැන අවධානය යොමු කිරීම අවශ්‍යයි" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා මේ බව පැවසුවේ ඊයේ (04) දිනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

(LNW)