Sunday, November 09, 2025
Follow Us
වසන්ත සමරසිංහ ගෙන් බදු වංචා පිළිබඳව හෙළිදරව්වක්

මේ රටේ ජනතාවට යහපතක් , සහනයක් , බලාපොරොත්තුවක් ගෙන්වා ගැනීමට පත් කළ මේ ආණ්ඩුව ජනතාව මෙන්ම දරුවන් සමගවත් නැහැ. දරුවන් අධ්‍යාපනය නැතිව ගෙදර සිටිනවා. රැකියාවන් නැතුව මිනිසුන්ට ජීවත් වෙන්න බැරුව සිටිනවා. ජීවත් වෙන්න කීයක් හෝ හොයාගත්තු මිනිසුන් ජීවත් වෙන්න විදිහක් නැතිව අතරමං වී සිටිනවා. ගොවියන් පොහොර නැතුව පාරවල උද්ඝෝෂණය කරනවා. නමුත් මේ රටේ ආණ්ඩුවේ ගජමිතුරු කල්ලිය එකතු වී මහා භාණ්ඩාගාරය සුද්ධ කරනවා. එයට එරෙහිව හඬ නගන්නට මේ රටේ ජනතාවට ආරාධනා කරනවා යැයි දූෂණ විරෝධි හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ පැවසීය.

මේ බව පවසා සිටියේ මහා භාණ්ඩාගාරයට අයවිය යුතු බදු නොගෙවා සිදු කරන බදු වංචාවන් පිළිබඳව හෙළිදරව් කිරීමට මාධ්‍ය හමුවක් ඊයේ (03 වැනිදා) දෙහිවල පිහිටි ජාතික වෘත්තිය සමිති මධ්‍යස්ථානයේදී පැවති අවස්ථාවේදීය.
එහිදී තවදුරටත් අදහසක් දක්වමින් මෙසේද පැවසිය.

” මේ වන විට අපේ රටේ මහා භාණ්ඩාගාරය හිස් වී තිබෙනවා. ඒ මහා භාණ්ඩාගාරය හිස් වී තිබෙන ප්‍රමාණය කොච්චරද කිව්වොත් අද දවස ගානේ සල්ලි අච්චු ගහන තැනට රට පත් වී තිබෙනවා. ආණ්ඩුව, ආණ්ඩුව මෙහෙයවන කණ්ඩායම කළ යුත්තේ රජයට, භාණ්ඩාගාරයට ලැබිය යුතු ආදායම් එකතු කර ඒවා රටේ ජනතාවගේ සුභසාධනය, සංවර්ධනය සහ අනෙකුත් කටයුතු සඳහා යෙදවීමයි. රාජපක්ෂ ආණ්ඩුව දවසින් දවස භාණ්ඩාගාරය සුද්ද කිරීම සඳහා විවිධ ක්‍රියාමාර්ග ගන්නවා මිස භාණ්ඩාගාරයට ලැබිය යුතු මුදල් රාජපක්ෂ භාණ්ඩාගාරයට හැරවිම සඳහා පමණක් ක්‍රියාමාර්ග ගන්නවා. නමුත් රජයේ භාණ්ඩාගාරයේ අර්බුදය පියවීම සඳහා ක්‍රියාමාර්ග ගැනීමක් අපට දකින්නට නැහැ.

ඇලෝසියස්ට විරුද්ධව තිබෙන මහජන බැංකුවේ නඩු අහන්නේ නැහැ. ආණ්ඩුව එකතු වී භාණ්ඩාගාරයේ ඉතුරු වී තිබෙන ඉතිරි මුදල් ටිකත් සුද්ද කරමින් යනවා.

මේ ආකාරයට ජපානයෙන් පරණ වාහන ගෙන්වා විකුණන්න හදන ව්‍යාපාරයක් පිළිබඳව හෙළිදරව්වක් කළා. මෙම වාහන ගෙන්වන ව්‍යාපාරිකයාට තමන්ගේ නමින් හැඳුනුම්පතක්වත් නැහැ.දැන් රටට වාහන ගෙන්වන එක නවත්වලා තිබෙන්නේ. එ නිසා එක් ව්‍යාපාරකයෙකුට පමණක් අවුරුදු තුනකට ජපානයේ තිබෙන පරණ වාහන මෙහෙ ගෙනැවිත් ඒවා සාදලා නමක් ගහලා මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර විකිණීමට ලබා දීමට යනවා. එසේනම් රටේ සියලුම වාහන ආනයනකරුවන්ට කියන්න ඕනේ එයාලා වාහන එහෙන් ගෙන්වලා මෙහෙ විකුණන්න කියලා. එහෙම කියන්නේ නැහැ. පරණ වාහන ගෙන්වලා ඒවා එකලස් කර විකුණලා සල්ලි ටික සාක්කුවට දාගන්නවා. මොකද වාහන වරායෙන් ගොඩ බාලා එනකොට වාහනයේ බද්ද වැඩි. වාහනයේ කොටස් ගලවගෙන එනකොට වාහන බද්ද අඩුයි. මෙමගින් සැලසුම වී තිබෙන්නේ භාණ්ඩාගාරයට යා යුතු මුදල් තමන්ගේ සාක්කුවට දා ගැනීමයි.

පොත් නැතිව වාහන විකිණීම සම්බන්ධයෙන් පැමිණිලි රාශියක් තිබෙනවා. ඒවා සඳහා නඩු විභාග වෙන්නේ නැහැ.
එදා රනිල්, මෛත්‍රී, සජිත් ආණ්ඩුව ඒ සුප්‍රකට බැදුම්කර වංචාව පිළිබඳව හොරගල් අහුලමින් සිටියා. රවී කරුණානායක ඇලෝසියස් සමග එකතුව කරපු දේවල් රටේ මිනිසුන් දන්නවා. එදා මහ බැංකුව බිඳපු රවීලා , ඇලෝසියස් ලා මහ බැංකුවේ අර්ථසාදක අරමුදලේ සල්ලි ටික එදා බෙදා ගන්නවා.

මහ බැංකු වංචාවේ සම්බන්ධ පුද්ගලයා කෝ? අද කෝ එයාලට දෙන දඬුවම්? අර්ජුන මහේන්ද්‍රන් ගැන කිසිවෙක් කතා කරන්නේ නැහැ. ඇලෝසියස් මහ බැංකු බැඳුම්කර වංචාවෙන් සොයා ගන්නා ලද මිලියන විසි පන්දහස කෝ?
ජනාධිපතිවරයාගේ ජනාධිපතිවරණයේ සටන් පාඨ දෙකෙන් එකක් තමයි බැඳුම්කර වංචාවේ දූෂිතයන්ට දඬුවම් දීම , පාස්කු ප්‍රහාරයේ චූදිතයන්ට දඬුවම් දෙනවා කියලා.

දැන් පාස්කු ප්‍රහාරය නිසා මිය ගිය අයවළුන් පල්ලි ගිය නිසාවෙන් වැරදිකරුවන් කියන්න ආණ්ඩුව සැලසුම් හදන්නේ. නමුත් තව ටික දවසකින් කාලයේ වැලි තලාවෙන් මේවා වසා දමයි.

අලුත්ම ජාලයේ නාඩගමකට මේ ආණ්ඩුවක් සූදානම් වෙන්න යනවා. එදා රවී, ඇලෝසියස් එකතු වුණා වගේ අද රාජපක්ෂ , ඇලෝසියස් එකතු වී මහා භාණ්ඩාගාරය සුද්ද කරන්න යනවා.

අර්ජුන ඇලෝසියස් මහ බැංකු වංචාවෙන් සොයා ගත්තු සල්ලි වලින් ස්කාගාරයක් මඩකලපුවේ හදද්දී ඒ ස්කාගරයට බලපත්‍රය ගන්න බැරි වුණා. මොකද මෙන්ඩිස් කොම්පැනිය ගෙවිය යුතු බදු මුදල් ගෙව්වේ නැහැ. මෙන්ඩිස් කොම්පැනිය සුරාබදු ලෙස මිලියන 1500 පමණ මහා භාණ්ඩාගාරයට ගෙවිය යුතුයි. මෙන්ඩිස් සමාගම විසින් නිෂ්පාදනය කරපු අරක්කු විකුණා, මිනිසුන් බීලා ඉවරයි. නමුත් ඒ බද්ද භාණ්ඩාගාරයට තවම ඇවිත් නැහැ.

මීට මාස ගණනකට කලින් මෙන්ඩිස් සමාගමේ නිෂ්පාදන නැවැත්තුවා. ඒ නිෂ්පාදන කටයුතු නවත්වා පසුගිය කාලය පුරාවටම අරලිය ගහ මන්දිරයේ මුදල් අමාත්‍යංශයේ කාල්ටන් නිවසේ රස්තියාදු ගගහා කැරකි කැරකි ඇලෝසියස් හිටියා. කොහොම හරි ඩීල් එක සම්පූර්ණ කරගත්තා. එහි ප්‍රතිඵලයක් ලෙස මිලියන 1500 සුරාබදු ලෙස මහා භාණ්ඩාගාරයට ගෙවිමට තිබියදී නැවත මෙන්ඩිස් ආයතනයට බලපත්‍රය දෙනවා ජූලි 21 දින වන විට මිලියන 1500 න් මිලියන 100 ගෙවිය යුතුයි කියලා. මුදල් අමාත්‍යංශයේ අවසරය ඇතිව මෙන්ඩිස් ආයතනයට නැවත අවසර ලැබෙනවා නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට.

භාණ්ඩාගාරය හිඳිලා තිබෙන මොහොතක මිලියන 1500 ගෙවීම සඳහා ඔහුට දෙනවා තව වසර දෙකක සහන කාලයක්. මහ බැංකුවේ වංචනිකයන්ට තිබෙන සලකන ආදරය බලන්න. රටක් , ලෝකයක් දන්න මහ බැංකු වංචාවෙන් කොල්ලකාපු සල්ලි යොදවා ගත්තු ව්‍යාපාර තවදුරටත් රජයේ භාණ්ඩාගාරයට ගෙවන සල්ලි ගෙවන්නේ නැතුව පවත්වාගෙන යෑමට රාජපක්ෂවරුන් අවස්ථාව ලබා දී තිබෙනවා.

ඇලෝසියස් මහා භාණ්ඩාගාරයට ගෙවන්නට තිබෙන මිලියන ගණනක මුදල ලැබුණා නම් පැයක් ලක්ෂ පහක පමණ මුදලකට රූපවාහිනී මාධ්‍ය නාලිකා මගින් දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් කාලය වෙන්කිරීමට තිබුණා.

එලෙස සිදු කළා නම් සතියේ දවස් පහකට මිලියන 10 යි. මාසයකටම මිලියන 40ක් පමණයි වියදම් වෙන්නේ. ඒ ආකාරයට මාස තුනක් පැය හතරක් ඉගැන්වීමට තිබුණා.

ඇලෝසියස්ට ලබා දුන් සහනය මහා භාණ්ඩාගාරය දරුවන් වෙනුවෙන් වෙන් කිරීම සිදු වුණා නම් මාස තුනක් රූපවාහිනි නාලිකාවක අධ්‍යාපන විකාශයක් සිදු කර දරුවන්ට ඉගැන්වීමට තිබුණා. මේ බදු මුදල් වංචාකරුවන්ගේ බදු මුදල් ටික එකතු කළා නම් දරුවන්ට රූපවාහිනී නාලිකා හරහා ලෙහෙසියෙන් ඉගැන්වීමට හැකියාව තිබුණා.

දුක් විඳින දෙමව්පියන්ට කරදරයක් නැතිව ළමයින්ට ඉගැන්වීමට ඉඩ ප්‍රස්ථාව දෙන්න. මේ ආණ්ඩුව හිරේ ඉන්න අයව එළියේ තියලා , හිරේ ඉන්න අයත් සමග ව්‍යාපාර කරනවා. ගම් බිම්වල දරුවෝ ඉගෙන ගන්න බැරුව නන්නත්තාර වෙලා. ඔන්ලයින් අධ්‍යාපනය හැදැරීමට ජංගම දුරකථනයක් අරගැනීම සඳහා කුඩා ළමුන් කුලී වැඩවලට යනවා.

මහා භාණ්ඩාගාරයට ලැබිය යුතු මුදල් වලින් මේ ආණ්ඩුව මිතුරන්ව හදනවා. මේ රටේ දරුවන්ට ඉගෙන ගැනීමට පහසුකම සළසා දීම සඳහා කටයුතු කරන්නේ නැහැ.

අපි ආණ්ඩුවට අවධාරණය කරනවා මේ මහා භාණ්ඩාගාරය සුද්ද කරන එක නවත්වන්න. මේ රටේ මිනිසුන්ගේ ප්‍රශ්නවලට පළමුකොට උත්තර හොයන්න.

මහා භාණ්ඩාගාරය බිඳපු රවී කරුණානායක හා ඇලෝසියස්ලා සමගම භාණ්ඩාගාරය සුද්ද කරන්න ලැහැස්ති වෙනවා. මේ මහා භාණ්ඩාගාරය සුද්ද කිරීමේ අපරාධය වහාම නවත්වන්න කියා අප ආණ්ඩුවට බල කරනවා “ යැයි පැවසීය.

(Aruna)