Tuesday, October 22, 2024
Follow Us
ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ එකම අධිෂ්ඨානය ජනාධිපතිවරණ ජයයි

එක්සත් ජාතික පක්‍ෂය ප්‍රමුඛ සංධානයක් හරහා ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීම ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ පිහිටුවීමේ එකම අධිෂ්ඨානය හා උත්සාහය බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කරයි.ජනාධිපතිවරණයෙන් පසු පාර්ලිමේන්තු මැතිවරණය ජයග්‍රහණය කොට ශක්තිමත් රජයක් පිහිටුවා සමස්ත ලංකාවම ජයග්‍රහණයේ මාවතට යොමු කිරීම අරමුණ බව පෙන්වා දෙන අගමැති වික්‍රමසිංහ මහතා තනි පක්‍ෂක් ලෙස ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීම දුෂ්කර බව මෑත කාලීන දේශපාලන ප්‍රවණතා ගැන අවබෝධයක් ඇති ඕනෑම කෙනෙකු පිළිගන්නා කරුණක් බවද අවධාරණය කරයි. අගමැති වික්‍රමසිංහ මහතාගේ විශේෂ ප්‍රකාශය මෙසේය.

2014 අවුරුද්දේ අපි රට වෙනුවෙන් එකට එක් වුණා. ප්‍රජාතන්ත්‍රවාදය යළි තහවුරු කිරීම, ජාතීන් අතර සංහිඳියාව ශක්තිමත් කිරීම, කඩා වැටුණු ආර්ථිකය යළි ගොඩනැංවීම සහ යහපාලනය ස්ථාපිත කිරීම ඉලක්ක කරගෙන, දේශපාලන පක්‍ෂ හා සංවිධාන ගණනාවක් මේ ආකාරයට සන්ධානගත වුණා.

ගෙවුණු කාලයේ රටේ ඇතිවුණු ප්‍රවණතා අපි සැලකිල්ලට ගත්තා. ව්‍යවස්ථා කුමන්ත්‍රණය නිසා රට ඇද වැටුණු අස්ථාවර තත්ත්වය අපේ අවධානයට යොමු වුණා.

මේ සියල්ල නිසා වඩාත් පුළුල්, ශක්තිමත් හා ස්ථාවර සන්ධානයක් පිහිටුවීමේ අවශ්‍යතාව අපට වැඩි වැඩියෙන් දැනුණා. රට සුරැකීම හා රට ගොඩනැංවීම ඉලක්ක කර ගත් දේශපාලන පක්‍ෂ හා සංවිධාන සමඟ අපි මේ ගැන ගැඹුරින් සාකච්ඡා කළා. ඒ අනුව අලූත් රටක් හා නවීන සමාජයක් බිහි කිරීමේ අරමුණින් ප්‍රජාත්‍රන්ත්‍රවාදී ජාතික පෙරමුණ නමින් පුළුල් සංධානයක් ඇති කොට දේශපාලන සංවිධානයක් ලෙස ලියාපදිංචි කිරීමට අප තීරණය කළා. මේ හැම තීරණයක්ම ගන්නේ සියලු කණ්ඩායම් සමඟ සාකච්ඡා කොට ප්‍රජාතන්ත්‍රවාදී ආකාරයටයි.

ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ පිහිටුවීමේ දින නියම කර ගැනීමෙන් පසු පැවැති අවසන් සාකච්ඡා වාරයන්හි දී තවත් අලූත් අදහස් මතුවුණා. ඒ අදහස් අපේ සැලකිල්ලට යොමු කිරීම වැදගත් බව අපට වැටහුණා. ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ පිහිටුවීමේ ලියැවිල්ල අවසන් කරලීම සඳහා තවත් කාලයක් ලබා ගත යුතු බව අප සිතුවා. අගෝස්තු මාසය අවසන් වීමට පෙර ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ ස්ථාපිත කිරීමට අප තීරණය කර තිබෙනවා.

ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ ස්ථාපිත කිරීමත් සමඟ දේශපාලන පක්‍ෂ හා සංවිධාන ගණනාවක් සමඟ ඒකාබද්ධව ක්‍රියා කිරීමේ අවකාශය උදා වෙනවා. නමුත් කිසිම පක්‍ෂයක එදිනෙදා කාර්යයන්ට මේ නිසා බලපෑමක් ඇති වෙන්නේ නෑ. පක්‍ෂ අභ්‍යන්තර ක්‍රියාවලියට හානියක් වන්නේත් නෑ. මේ සංධානය බිහි වෙන්නේ පක්‍ෂවල අනන්‍යතාව හා ස්වාධීනත්වය ආරක්‍ෂා වන අන්දමටයි.

ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ සඳහා ජාතික ප්‍රතිපත්ති මාලාවක් අප සකස් කරනවා. අපේ අනාගත සැලසුම් සකස් කරන්නේ ඒ ප්‍රතිපත්ති මාලාව පදනම් කර ගෙනයි.

තනි පක්‍ෂක් ලෙස ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීම දුෂ්කර බව මෑත කාලීන දේශපාලන ප්‍රවණතා ගැන අවබෝධයක් ඇති ඕනෑම කෙනෙකු පිළිගන්නා කරුණක්. ඒ නිසා පසුගිය කාලය පුරාම මම කාලය සහ ශ්‍රමය වැය කළේ ජයග්‍රහණය කරා අපව යොමු කරවිය හැකි පුළුල් දේශපාලන සන්ධානයක් ගොඩනැගීම සඳහායි. මේ අරමුණින් මමත්, අනෙක් පක්‍ෂ නායකයනුත් ඉවත් වෙන්නේ නෑ. අපේ එකම අධිෂ්ඨානය හා උත්සාහය වන්නේ එක්සත් ජාතික පක්‍ෂය ප්‍රමුඛ සන්ධානයක් හරහා ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමයි. ඉන් පසු පාර්ලිමේන්තු මැතිවරණය ජයග්‍රහණය කොට ශක්තිමත් රජයක් පිහිටුවා සමස්ත ලංකාවම ජයග්‍රහණයේ මාවතට යොමු කිරීමයි.

ඒ ගමනට අපි සියලුදෙනා එක්වෙමු. ශ්‍රී ලංකාව ලෝකයේ දීප්තිමත් හා සංවර්ධිත රාජ්‍යයක් බවට පත් කිරීමට කැපවෙමු.

(Dinamina)