Sunday, November 09, 2025
Follow Us
ඓතිහාසික මහින්දාගමනය දවසේම සිදුවන දුමින්දාගමනය ...

ඓතිහාසික මහින්දාගමනය සිදුවූ පොසොන් පෝය දවසේම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට ජනාධිපති සමාව ලැබී තිබේ.

ඇත්තෙන්ම මෙහි කිසිදු පුදුමයක් අරුමයක් නොමැති අතර මෙතෙක් කල් පුදුමයට කාරණය වී තිබුණේ මෙය මෙතරම් ප්‍රමාද වීමය.

දුමින්ද සිල්වා යනු නිකම්ම නිකම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු නොවේ. ඔහු මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි ධුර කාලයේදී ආරක්ෂක අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත්‍රීවරයාය. කොළඹ දිස්ත්‍රික්කයෙහි බිම්මට්ටමේ ජනතාව අතර ඉහළම ජනප්‍රියත්වයක් ඉසුළූ මන්ත්‍රීවරයාය. ආණ්ඩුවේ ඕනෑම හදිසියකදී කොළඹට ඕනෑම මොහොතක සෙනඟ රැස්කර දියහැකි සංවිධායකයාය. සරලව කිවහොත් ඔහු ඒ පාලනයේ බල කණුවක් විය.

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් මහාධිකරණයෙන් මරණීය දණ්ඩනය නියම වී ශ්‍රේෂ්ඨාධිකරණයෙන් එම දණ්ඩනය ස්ථිර වී සිටි පසුබිමක ඔහුට නිදහස ලැබිය හැකි එකම ක්‍රමවේදය වූයේ ජනාධිපති සමාව පමණි. ඇත්තෙන්ම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද සිය ධුර කාලයෙහි අවසන් සමය තුළ දුමින්ද සිල්වාව නිදහස් කරන බවට පොරොන්දු වී තිබිණි. එහෙත් කවර හෝ හේතුවක් මත ඔහු එය ඉටු කළේ නැත.

හිරු මාධ්‍ය ජාලයෙහි අධිපති රෙනෝ ද සිල්වා යනු දුමින්දගේ සහෝදරයා බව සියල්ලන්ම දන්නා කරුණකි. ඔහු පසුගිය රජය පළවාහැර නව රජය පත්කරගැනීම සඳහා මාධ්‍ය සටන් පෙරමුණේ ඉදිරි පෙළෙහිම සටන් වැදුනේ දුමින්ද නිදහස් කරවා ගැනීම සඳහා මිස වෙනත් යමකට නොවේ. ඒ අනුව දුමින්දව අද නිදහස් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිදුකරන්නේ ජනාධිපතිවරණ පොරොන්දුවක් ඉටු කිරීමකි.

 

අනෙක් අතට දුමින්ද සිල්වා මහතාව නිදහස් කරන ලෙස ඉල්ලා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමේම අත්සන් සහිතව ලිපියක් ද මීට මාස ගණනාවකට පෙරම ජනාධිපතිවරයා වෙත යොමුකර තිබිණි. ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම යනු පොහොට්ටුවට ඡන්දය දුන් හැට අට ලක්ෂයක් ජනතාව නියෝජනය කරන මහජන නියෝජිතයින් කණ්ඩායමයි. ඒ අනුව දුමින්ද සිල්වා නිදහස ලබන්නේ හැට අට ලක්ෂයක ජනවරමකින් බව ද පැවසිය හැකිය.

ඕනෑම අපරාධ සැකකරුවෙකු සම්බන්ධයෙන් සාධාරණ සැකයෙන් ඔබ්බට සාක්ෂි තහවුරු වී ඇත් නම් ඔහුට මරණීය දණ්ඩනය නියම කිරීම අධිකරණය සතු බලයක් වන්නා සේම ඕනෑම වරදකරුවෙකු කොන්දේසි සහිතව හෝ කොන්දේසි රහිතව සමාව දී නිදහස් කිරීමට ද නීත්‍යානුකූල, ව්‍යවස්ථානුකූල බලයක් ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපතිවරයෙකුට තිබේ. එය ප්‍රශ්න කිරීමට නොහැක.

 


දුමින්ද සිල්වා යනු තම තරුණ වයසේදීම තමන්ටම දරාගැනීමට අපහසු තරමේ ධන බලයකුත් දේශපාලන බලයකුත් ලැබීම නිසා ඇඟේ හයියෙන් ප්‍රශ්න විසඳාගැනීමට ගොස් අවසානයේ හත්පොළේ ගාගෙන නතර වූ තරුණ දේශපාලනඥයෙකු වශයෙන් ද සැලකිය හැකිය. ඇතැම් විට සිරගත දිවිය විසින් සහ ජීවිතයේ ගතවුණු වසර හත අට විසින් ඔහුව වෙනස් කර තරමක් පරිණත කර ඇතුවා වන්නටත් පුළුවන. එය දැනගත හැකිවනු ඇත්තේ හෙට සිට ඔහු හැසිරෙන ආකාරය අනුවය.

දහසක් අඩුපාඩු වැරදි තිබියදී වුවත් ඒ සම්බන්ධ විවේචන එලෙසින්ම තිබියදී වුවත් දුමින්ද සිල්වා ගැන අමතර එක කරුණකුත් නොකිවහොත් මේ සටහන අසම්පූර්ණය. ඔහු දේශපාලනයෙහි නියැළී සිටි කාලය තුළ කොළඹ දිස්ත්‍රික්කයේ දුගී දුප්පත් ජනතාව ආපදාවකට පත්වූ හැම අවස්ථාවකදීම සිය ධනය වැය කරමින් ඔවුන්ට සහන සැලසුවේය. තොටළඟ පැල්පත් ගංවතුරට යටවී නම් ටික වේලාවක් ගතවන විටම ඔහු ඒ ජනතාවට පිසූ ආහාර දුන්නේය, වියළි ආහාර දුන්නේය, නොයෙකුත් ආධාර කළේය. අදටත් කොළඹට ගංවතුරක් ගලා ජනතාව අවතැන් වනවිට ඔවුන්ට දුමින්ද සිල්වාව සිහි නොවනවා නොවේ.

විනිශ්චයන් අයිති වන්නේ ඉතිහාසයටය. දුමින්දාගමනයේ ඉදිරි වසර කිහිපය තුළ අද මහින්දාගමනය දා ඔහුට ලැබුණු සමාව ගැන නිගමනයන්ට පැමිණිය හැකිවනු ඇත ....

(LNW)