වැඩ කරන විරුවා දැන් වැඩිකරන විරුවෙක් බවට පත්ව තිබෙන අතර අද ජනතාව පත්ව ඇත්තේ ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇන්නා වගේ තත්ත්වයකට බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පැවසුවේය.
මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ වැඩි වුණු ඉන්ධන මිල සම්බන්ධයෙන් (12) මාධ්‍යයට අදහස් දක්වමිනි.
මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන කාලයේ රු.157ට තිබුණු පෙට්‍රල් ලීටරය රු.117 දක්වා අඩුකර පසුව රුපියල් දෙක තුනකින් වැඩිකරන විට පාර්ලිමේන්තුවට පැමිණියේ බයිසිකල්වලින් වන අතර දැන් පොහොට්ටුවේ අය පැමිණෙන්නේ තිරික්කලයෙන් ද යන්න විමසා සිටින බවයි මන්ත්‍රීවරයා කියාසිටියේ.
අද ආණ්ඩුවට මෙවැනි තත්ත්වයක් උදා වී ඇත්තේ ඔවුන් සතුව කළමනාකරණ හැකියාවක් නොමැති වීමෙන් බවද මරික්කාර් මන්ත්‍රීවරයා සඳහන් කරන ලදී.
''තෙල් සංස්ථාවට ඩොලර් නැති තත්ත්වයක් උදාවෙලා තිබෙනවා තෙල් ආනයනය කරන්න. මොකද හේතුව අපේ රටේ මහ බැංකු සංචිතය මේ වන විට ආරංචි මාර්ග අනුව තියෙන්නේ ඩොලර් බිලියන හතරයි. මේ මාසේ ණය වාරික ගෙවන්න තියෙනවා ඩොලර් බිලියන 2.1 යි. ඒ අනුව සියලු කටයුතු සඳහා, ආනයනය සඳහා තියෙන්නේ ඩොලර් බිලියන 1.9යි. අනික් පැත්තෙන් යුරෝපා පාර්ලිමේන්තුවේ යෝජනාවක් එනවා පහුගිය රජයෙන් ලබාගත්තු GSP ප්ලස් සහනය අහෝසි කරනවාද නැද්ද කියලා. එහෙම වුණොත් අපේ ඇඟලුම්වලින් එන ආදායම විශාල ප්‍රශ්නයකට මුහුණ දෙනවා. මොකද ඇඟලුම් ආනයනයෙන් වැඩිම ආදායම එන්නේ ඇමරිකාවෙන් සහ යුරෝපයෙන්.''
ඒ අනුව ආණ්ඩුවට තවදුරටත් මේ රට කරන්න බැරි නම් කළ හැකි තරුණ කණ්ඩායමකට භාර දෙන ලෙස මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
(LNW)