Friday, May 03, 2024
Follow Us
රනිල් 20ට සහාය දුන් විපක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ නායකයා වෙයිද ?

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීම සඳහා ආණ්ඩුවට සහාය ලබාදුන් විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිස ඉදිරියේදී එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සමග එක්ව පාර්ලිමේන්තුව තුළ කටයුතු කිරීමේ සූදානමක් පවතින බව තහවුරු නොකළ දේශපාලන ආරංචිමාර්ග පවසයි.

විශේෂයෙන් 20 වැනි සංශෝධනයට සහාය දෙමින් ආණ්ඩුවට එක්වූ ඩයනා ගමගේ මන්ත්‍රීවරියට කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ධුරය ලබාදීමට පොරොන්දු වී තිබුණත් එය ඉටු නොවුණු තත්වයක් තුළ කළකිරීමෙන් පසුවන ඇය තමන්ගේ හිටපු නායකයා වූ රනිල් වික්‍රමසිංහ මහතා සමග එක්ව පාර්ලිමේන්තුව තුළ කටයුතු කිරීමට සැලසුම් කර ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

රිෂාඩ් බදූර්දීන් මහතා සහ රවුෆ් හකීම් මහතා හැර ඔවුන්ගේ පක්ෂවල සෙසු මන්ත්‍රීවරුන් 6 දෙනෙකු ද 20 වැනි සංශෝධනයට සහාය පළකර තිබුණු අතර ඔවුන් ද කණ්ඩායමක් වශයෙන් රනිල් වික්‍රමසිංහ මහතාට එකතු වීමට සූදානම් වන බව සඳහන්.

ඒ අනුව එජාපයට හිමි එකම මන්ත්‍රී ධුරයෙන් පාර්ලිමේන්තුවට පැමිණිය ද රනිල් වික්‍රමසිංහ මහතාට පාර්ලිමේන්තුව තුළ කුඩා මන්ත්‍රී කණ්ඩායමක නායකයා වශයෙන් පෙනී සිටීමේ හැකියාවක් ලැබෙනු ඇති බවත් එම ආරංචිමාර්ග වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

(LNW)