Saturday, May 04, 2024
Follow Us
සජබ ඇතුළේ කුමන්ත්‍රණ නෑ. අපේ නායකයා සජිත් - කෙළින් කතා කරන හරීන් කලකට පසු මාධ්‍යට

සමගි ජන බලවේගය තුළ කිසිදු කුමන්ත්‍රණයක් නොමැති බවත් එහි මන්ත්‍රීවරුන් කිසිවෙකුත් යළි එක්සත් ජාතික පක්ෂයට එකතුවෙතැයි තමන් නොසිතන බවත් එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

එසේවෙතත් වත්මන් ආණ්ඩුව පෙරළාදැමීම සඳහා සමගි ජන බලවේගයත් එක්සත් ජාතික පක්ෂයත් අනෙකුත් සියලුම පක්ෂත් අනිවාර්යයෙන්ම එක්ව කටයුතු කළයුතුය යන ස්ථාවරයෙහි තමන් සිටින බවත් ඒ මහතා සඳහන් කළේය.

ප්‍රශ්නය - ඔබතුමන්ලාගෙ පක්ෂය තුළ මතභේද තියෙනවා කියලා තමයි දැනගන්න තියෙන්නෙ ?

"නෑ, ඇත්ත වශයෙන්ම මතභේදයක් නෑ. මම නම් පහුගිය මාස එකහමාරක කාලයක් නිවාඩු අරන් හිටියෙ, ඒත් මම නම් එහෙම පක්ෂය අභ්‍යන්තරයේ ලොකු අවුලක් තියෙනවා කියලා දන්නෙ නෑ. මං දන්න තරමින් නම් අර්බුදයක් නෑ. මට ඒ සම්බන්ධයෙන් සාධාරණව කියන්න පුළුවන්"

ප්‍රශ්නය - එහෙනම් ඇයි කණ්ඩායම් රැස්වීමක් එකපාරටම කැඳවලා, නායකත්වය වෙනින් කෙනෙකුට යයි කියලා බයක් තියෙනවද ?

"නෑ ඇත්තටම ඒක කරපු මිනිහාගෙන්ම තමයි අහන්න ඕනෙ. මං නම් දකින්නෙ ඒක හරි මෝඩ වැඩක් කියලා. මොකද මගේ නායකයා සජිත් ප්‍රේමදාස. ඉතිං මම දන්නෙ නෑ ඒක නැවත වතාවක් තහවුරු කරගන්න මොකද විශේෂ දෙයක් කරන්න ඕනෙ කියලා. මම හිටියා නම් මම ඕක අහනවා. මම හිටියෙ නෑ, මම නිවාඩු අරන් ඉන්නෙ මාස දෙකකට. මම හිතනවා අනවශ්‍ය වැඩක් කියලා. අනවශ්‍ය බියක්, අනවශ්‍ය කතාවක් මවන්න කාටද වුවමනා වුණේ කියලා හොයලා බලන්න ඕනෙ අපි"

ප්‍රශ්නය - ඒ කියන්නෙ බයක් තියෙනවද සමගි ජන බලවේගය කඩාගෙන කොටසක් රනිල් වික්‍රමසිංහ මහත්මයා එක්ක යයි කියලා ?

"මං එහෙම විශ්වාස කරන්නෙ නෑ. නමුත් රනිල් වික්‍රමසිංහ මහතා කියන්නෙ දේශපාලනයෙන් පරිණත බුද්ධිමත් පුද්ගලයෙක්. අලුත් දේශපාලන පක්ෂයක් නිර්මාණය කරලා අපි ආපහු එතුමා ගාවට පැනලා යන්න තරම් එහෙටයි මෙහෙටයි පනින්න පිස්සුවක් තියෙන මිනිස්සු මං හිතන්නෑ සමගි ජන බලවේගයේ ඇති කියලා. හැබැයි මම හිතනවා මේ වෙලාවෙ සමගි ජන බලවේගයත් එක්සත් ජාතික පක්ෂයත් ඒවගේම සියලු පක්ෂත් එකතු වෙන්න ඕනෙ විපක්ෂයක් හැටියට. එහෙම නැතුව ආණ්ඩු පෙරළන්න බෑ. සජබ අපි හිතනවා නම් යූඑන්පීය ඕනෙ නෑ කියලා ඒකත් මෝඩකමක්, ඒවගේම යූඑන්පීය හිතනවා නම් සජබ ඕනෙ නෑ කියලා ඒකත් මෝඩකමක්. මේ රටේ මේ ආණ්ඩුව ඇත්තටම දැන් පරාජය වෙලා තියෙන්නෙ. ඒක පරාජය කරලා ජනතාවට සාධාරණයක් කරන්න නම් අපි විපක්ෂයක් හැටියට එක තැනකට එකතුවෙන්න ඕනෙ"

ප්‍රශ්නය - මහින්දානන්ද ඇමතිතුමා කිව්වා ඔබතුමා ඇතුළු 10 දෙනෙක් රනිල් වික්‍රමසිංහ මහත්තයාත් එක්ක යන්න ඉන්නෙ කියලා ?

"මං හිතන්නෙ ඒක පට්ටපල් බොරුවක්. රනිල් වික්‍රමසිංහ මහත්තයාට ලොකු ගරු කිරීමක් තියෙනවා මගේ. මට දේශපාලනයට එන්න ආරාධනා කරලා, මාව කැබිනට් ඇමති කෙනෙක් කරලා, මහ ඇමති කෙනෙක් වෙලා ඒ සියලු දේ සිදුවුණේ එතුමාගෙ කාලවකවානුව තුළ. මට එතුමාත් එක්ක කිසිම අර්බුදයක් නෑ. මම එතුමා දකින තැන කතා කරනවා, සම්බන්ධයෙන් ඉන්නවා. හැබැයි ඒකෙන් කියන්නෙ නෑ මම දේශපාලන වශයෙන් සජිත් ප්‍රේමදාස විරෝධියෙක් කියලා. මං එහෙම කෙනෙක් නෙවෙයි"

ප්‍රශ්නය - තාමත් කුමන්ත්‍රණයක් වෙයි කියලා ඔබතුමා හිතන්නෙ නැද්ද ඔබතුමාලාගෙ පක්ෂය ඇතුළෙන් ?

"කුමන්ත්‍රණයක් කරනවා නම් කරන්න ඉන්නෙ මං. එහෙම කුමන්ත්‍රණයක් වෙන්නෙ නෑ !"

හෘද රෝග තත්වයක් හේතුවෙන් රෝහල්ගත කරනු ලදුව සැත්කමකට ද මුහුණ දුන් හරීන් ප්‍රනාන්දු මහතා ඉහත අදහස් දැක්වූයේ දිගු කලකට පසුව ඊයේ (09) දිනයේදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

(LNW)