කොවිඩ් වසංගත තත්වයෙන් ජනතාව මුදා ගැනීමට පමණක් නොව වසංගත තත්වය හේතුවෙන් අසරණ වී සිටින ජනතාව අවශ්‍ය අවම පහසුකම් සැළසීමට හෝ වත්මන් ආණ්ඩුව අසමත් වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
කොවිඩ් මර්දන රාජ්‍ය ඇමතිවරිය, වසංගතයෙන් මිදීම සඳහා උදව් කරන්නැයි දානපතියන්ගෙන් ඉල්ලා සිටි අවස්ථාවේදී මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ආණ්ඩුවට ඇතිතරම් මුදල් තිබෙන බව පැවසූ නමුත් අවම තරමින් රුපියල් 5000 දීමනාව හෝ නිසි පරිදි ලබාදීමට ආණ්ඩුව අසමත් වී ඇති බවයි විපක්ෂ නායකයා පවසන්නේ. එම දීමනාව කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවත් අවම තරමින් මසකට රුපියල් 20,000 ක පමණ මුදලක් එක් පවුලකට ලබාදිය යුතු බව ප්‍රේමදාස මහතා අවධාරණය කරනවා.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිකුත් කළ නිවේදනය
මේ වනවිටත් සමස්ත රටේම අර්බුදය උග‍්‍ර වී සෑම ක්ෂේත‍්‍රයක්ම අගාධයට ගොස් තිබේ. අදූරදර්ශී පාලනය විසින් මුලූ මහත් රටටම උරුමකර ඇත්තේ අන්ධකාර අනාගතයක් පමණි. මේ වනවිට කොරෝනා ව්‍යසනය රටම වෙලාගෙන ඇති අතර මෙය මර්දනය කිරීම සඳහා දැනට තිබෙන එකම ක‍්‍රියාදාමය එන්නත්කරණය බව ආණ්ඩුව පිළිගත්තේද විවිධාකාර මිත්‍යා කටයුතු රැසක් සිදුකොට එයින්ම වසංගතය උත්සන්න වූවාට පසුවය. ඒ් අතර රටේ සම්පත් සියල්ල විකුණා දැමීමේ කටයුත්ත ආණ්ඩුව ගජරාමෙට සිදුකරමින් සිටියි. අන් කවරදාටත් වඩා ඛේදනීය ලෙස රටේ සම්පත් විකුණන අතර අනෙක් පැත්තෙන් බංගලාදේශයෙන් පවා ණය ලබාගැනීමේ තැනට රට වැටී ඇත.
සෞභ්‍යග්‍යයේ දැක්ම වෙනස් වී අභාග්‍යයේ දැක්ම ලෙස ක‍්‍රියාත්මක වන අතර එහි අවාසනාවන්ත ඉරණම අත්විඳින්නට සිදුවී ඇත්තේ මතු පරම්පරාවටය. වසර දෙකක් පුරා ජනතාව අතිශය කටුක ජීවිත ගතකරන අතර පැලැස්තර විසඳුම් මිස කෙටිකාලීන, මාධ්‍යකාලීන සහ දිගුකාලීන විසඳුම් කිසිවක් ආණ්ඩුව සතුව නැත. කොවිඩ් පළමු සහ දෙවන රැල්ල තුල මතු වූ තත්ත්වය තුල ආණ්ඩුව කිසිදු පාඩමක් ඉගෙන ගෙන නැත.
එහි අඳුරු ප‍්‍රතිඵල රටම භුක්ති විඳිමින් සිටී.
රටේ දරුවන්ගේ අධ්‍යාපනය බිඳවැටී ඇත. රාජ්‍ය සේවකයින්, සංචාරක ක්ෂේත‍්‍රයේ නියුතුවූවන්, එදිනෙදා කුලී වැඩ කරන ජනතාව, කම්කරුවන්, වතු කම්කරුවන්, ස්වයං රැකියාකරුවන්, කුලී රථ සේවකයින්, පෞද්ගලික අංශ සේවකයින්, ගොවීන්, ධීවරයින්, ලොකු කුඩා ව්‍යාපාරිකයින් ඇතුළු සමස්ත පුරවැසියන් මේ මොහොතේ දැඩි ව්‍යාකූලත්වයකට හසුව සිටින අතර ආණ්ඩුවේ ඉතාම සමීපතයින් කුඩා පිරිසක් පමණක් මේ ව්‍යසනය සිය වාසියට හරවාගෙන සිටී.
ආණ්ඩුව වහාම කළ යුත්තේ දේශපාලන ප‍්‍රතිවිරෝධතා පසෙක ලා රටේ ජනතාව වෙනුවෙන් එක පවුලකට මසකට රුපියල් 20,000 ක දීමනාවක් හෝ ලබා දීමය. ඊට අමතරව විශේෂ සහන පැකේජයක් හඳුන්වා දෙමින් ස්වයං රැකියාලාභීන් සහ කුඩා ව්‍යාපාරිකයින් වෙනුවෙන් දිරි දීමද, ලීසිං සහන සහ ජල විදුලි සහන කඩිනමින් ක‍්‍රියාත්මක කිරීමද ආණ්ඩුව කළයුතු දේය. එහෙත් සිදුවන්නේ ඒ් වෙනුවට ජිවිත සමග සෙල්ලම් කිරීමය.
කොවිඩ් මර්දන රාජ්‍ය ඇමතිනිය දානපතියන්ගෙන් පරිත්‍යාග ඉල්ලූ අවස්ථාවේ ආණ්ඩුවේම අමාත්‍යවරයෙක් කියා සිටියේ ආණ්ඩුවට අවශ්‍යතරම් මුදල් ඇති බවය. එසේනම් ආණ්ඩුව ඒ් මුදල් යොදාගෙන කළ යුත්තේ මේ මොහොතේ අසරණව සිටින ජනතාවට අවශ්‍ය සහන සැලසීමේ යාන්ත‍්‍රණය ක‍්‍රියාත්මක කිරීමය.
ලෝකයේ සෑම රටක්ම පාහේ සිය පුරවැසියන් කොරෝනා ව්‍යසනයෙන් මුදා ගන්නට තරගකාරී ලෙස එන්නත් ලබා ගන්නා විට අපේ රටේ සිදුවූයේ තරගකාරී ලෙස මිත්‍යාවන් කරලියට ගෙන ඒ්මය. ඉන්දියාවෙන් අපේ රටට එන්නත් 500,000 ක්ද, ලෝක සෞඛ්‍ය සංවිධානය එන්නත් 265,000 ක්ද, චීනයෙන් ලක්ෂ 6 කට ආසන්න එන්නත් ප‍්‍රමාණයක්ද, රුසියාවෙන් 15,000 ක් පමණද ලැබුණ අතර රටක් ලෙස ආණ්ඩුව සිය පුරවැසියන් වෙනුවෙන් මිලදී ගත්තේ එන්නත් 500,000 ක් පමණි. කොවිඩ් අරමුදලට මිලියන 1700 කට අධික ආධාර ලැබී ඇති අතර එයින් වියදම්කොට ඇත්තේ මිලියන 300 ගණනකි.
වත්මන් ආණ්ඩුව සිය ජනතාවගේ ජීවිත පිළිබඳව දක්වා ඇත්තේ එවන් සැලකිල්ලකි. එවන් තත්ත්වයක් තුළ හෝ ආණ්ඩුව අඩුම තරමේ නිසි ක‍්‍රමවේදයකට අනුව ජනතාවට සහන සැලසීමේ ක‍්‍රියාවලිය හෝ විනිවිද පෙනෙන ලෙස සිදු නොකිරීම බලවත් ඛේදවාචකයකි.
ආණ්ඩුවේ අදූරදර්ශී වැඩපිළිවෙල හේතුවෙන් ජනතාවට කොරෝනාවලින් තොර ජීවිතයක් වෙනුවට කොරෝනා සමග ජිවිතයක් උරුම වී තිබෙන අතර මේ ව්‍යසනය හේතුවෙන් අහිමිවන සෑම ජීවිතයකම වගකීම ආණ්ඩුව භාරගත යුතු බවද අවධාරණය කරමු.
(LNW)