Monday, November 10, 2025
Follow Us
වෙළෙද නාවිකයින් මුහුණ පා ඇති ගැටළු ගැන වහාම අවදානය යොමු කරන්න - එජාප සභාපති රජයෙන් ඉල්ලයි

ශ්‍රී ලාංකික වෙළෙඳ නාවිකයන් හට සිදු වන අසාධාරණය හේතුවෙන් අප රටට ලැබෙන විදේශ විනිමය අහිමි වෙමින් පවතීන බවත් ඔවුන්ගේ ගැටළු සම්බන්ධයෙන් වහාම අවදානය යොමු කිරීමට රජය ක්‍රියා කළ යුතු බවට එක්සත් ජාතික පක්ෂයේ සභාපති හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන පවසනවා.

ලෝකයේ කෝවිඩ් වසංගතය සමග ඇති වී තිබෙන තත්ත්වය තුළ කොරෝනා වසංගතයේ මූලික අවධිය තුළ ශ්‍රී ලංකාවේ නාවිකයන්ට යහපත් තත්ත්වයක් තිබුණ ද, වෙළෙඳ නැව් අධ්‍යක්ෂක කාර්යාලය යටතේ ඇති මෙම ක්‍රියාවලියේ දැනට පවත්නා අක්‍රමවත් ක්‍රියා කලාපය හේතුවෙන් බොහෝ දෙනෙකුට සහතික පත් ලබා ගැනීම, සහතික පත් අඛණ්ඩව මුදා හැරීම, සහතික සහ යෝග්‍යතා සහතික යාවත්කාලීන කිරීම යන ආදී කරුණු සඳහා බරපතල ලෙස ප්‍රමාදයට ලක් වීමක් සිදු වෙමින් පවතීන බවයි හිටපු අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටින්නේ.

කොරෝනා වසංගතය රට තුළ තිබුණත් විදේශ විනිමය උපයන මෙවැනි ක්ෂේත්‍ර පිළිබඳ රජය විශේෂ අවධානයක් යොමු කළ යුතුව ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

" පසුගිය කාලයේ ඔවුන් වැඩි වැඩියෙන් ලෝකයේ නැව් සමාගම්වල රැකියාවලට බඳවා ගැනීමට කටයුතු කරමින් සිටියා. වර්තමානයේ ඉන්දියාවේ ඇති වූ නරක තත්ත්වය තුළ ශ්‍රී ලංකාවේ නාවික ක්ෂේත්‍රයේ රැකියා කරන අයට වැඩි වැඩියෙන් රැකියා අවස්ථා හිමි වීමද සිදුවෙමින් පවතී. එවැනි අවස්ථාවක ශ්‍රී ලාංකික නාවික ක්ෂේත්‍රයේ රැකියා කරන අය සඳහා රජයේ සහ නාවික අමාත්‍යංශයේවිශේෂ අවධානයක් යොමු විය යුතුයි" හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන ප්‍රකාශ කර සිටියේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂයේ සභාපතිවරයා කියා සිටියේ ලෝකයේ බොහෝ නැව් සමාගම් සේවාවන් සඳහා නාවිකයින් බඳවා ගැනීමේදී ඔවුන්ට කොරෝනා මර්ධන එන්නත ලබාදී ඇත්ද යන්න සම්බන්ධයෙන් අවධානය යොමු කරන බැවින් ශ්‍රී ලංකාවද නාවික ප්‍රජාව වෙත හැකි ඉක්මනින් එන්නත ලබාදීමේ ක්‍රමවේදයක් සකස් කර යුතු බවයි.

ගාල්ල ප්‍රදේශයේ දී මාධ්‍ය හමුවක් කැඳවමින් එක්සත් ජාතික පක්ෂයේ සභාපතිවරයා මේ බව ප්‍රකාශ කර සිටියා.

(Neth)