Monday, November 10, 2025
Follow Us
මොරටුව නගරාධිපතිගේ සිද්ධිය ගැන නාමල් ජනපතිගෙන් සමාව ඉල්ලයි. එය අහඹු සිදුවීමක් බවත් කියයි

මොරටුව ප්‍රදේශයේ කොවිඩ් එන්නත්කරණ වැඩසටහනට බාධා කරමින් සෞඛ්‍ය අංශ සමග ගැටුමක් ඇති කරගනිමින් මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු මහතා ඇති කළ සිදුවීම ඉතාම අශෝභන එකක් බවත් එවැනි සිදුවීම් වලට ඉඩ නොතැබිය යුතු බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

"එන්නත් කිරීම, මේක අපි තැන් තෝරාගත්තෙ විද්‍යානුකූලව නෙ. මේක කොහෙද තියෙන්නෙ, කොහොමද වැඩිවෙලා තියෙන්නෙ ඒවා තෝරාගෙන, ඒ දිස්ත්‍රික්කවලත් මේක අවශ්‍යම ප්‍රදේශ බලලා, ඒ දත්තත් ඒවගේම තොරතුරුත් අරගෙන, සෞඛ්‍ය අංශයි අපෙ තියෙන දත්තයි ඔක්කොම අරගෙන තෝරාගත්තෙ. ඉතිං එහෙම කරලාත් අර අර ඊයෙ හරිම කැත දර්ශනයක් නෙ. ඒකෙන් මුළු මේකම විනාශ වෙලා ගියා. ඉතිං ඒවගේ ඒවා වෙන්න දෙන්න එපා" යනුවෙනුයි ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේ.

ඊට පිළිතුරු දෙමින් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසුවේ "අතිගරු ජනාධිපතිතුමනි, ඒකට සමාවෙන්න ඕනෙ. ඒක අහඹු ලෙස සිදුවෙච්චි දෙයක්" යනුවෙනි.

වැඩිදුරටත් අදහස් පළ කරමින් ජනාධිපතිවරයා "ඔව්, මම දන්නවා. නෑ, මේක හැමතැනම හොඳට වුණා. මේ එක තැනක හරි මේක කරාම ඒක තමයි ඉතිං මාධ්‍යයේ හැමතැනම යන්නේ" යැයි ප්‍රකාශ කළේය.

මෙම අදහස් පළවුණේ ඊයේ (28) පැවති කොවිඩ් මර්දන කාර්ය සාධක බලකා රැස්වීමේදීය.

කෙසේවෙතත් මොරටුව නගරාධිපතිවරයාගේ මැදිහත්වීම අහඹු සිදුවීමකැයි පැවසිය නොහැක්කේ ඊට පෙර දිනයේත් ඔහුගේ ක්‍රමය යනු හොඳම ක්‍රමය වශයෙන් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසින් ප්‍රසිද්ධියේ ඇගයීමට ලක්කර තිබුණු නිසාය. ජොන්ස්ටන් අමාත්‍යවරයා එහිදී පවසා තිබුණේ එන්නත්කරණය සඳහා ප්‍රාදේශීය දේශපාලකයින් විසින් තුණ්ඩු බෙදාදීම යනු නිවැරදිම ක්‍රමවේදය බවත් කවුරු බැනවැදුණත් ඒ ක්‍රමවෙදය අනුගමනය කිරීමට බියවිය යුතු නොමැති බවත්ය.

(LNW)