Monday, November 10, 2025
Follow Us
කොළඹ වටිනා ඉඩම් බදු සහනත් එක්කම පෝට් සිටියේ සමාගම්වලට විකුණන්නද යන්නේ ? - හර්ෂ

කොළඹ නගරයේ ඇති ඉහළ වාණිජ වටිනාකමකින් යුත් ඉඩම් කට්ටි ගණනාවක්ම ඇතුළුව රජයේ වත්කම් රැසක් කොළඹ වරාය නගර පනත ඔස්සේ එම වරාය නගර කොමිසම හරහා පාලනය කෙරෙන පරිදි පවරා දීමට රජය උත්සාහ කරන්නේද යන්න ප්‍රශ්නය පැන නැඟී ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.

සෙලෙන්දිවා නමැති දැනටමත් ස්ථාපනය කර ඇති රාජ්‍ය සමාගම යටතේ Special Purpose Vehicle (SPV) වශයෙන් පිහිටුවන සමාගම් හරහා මෙසේ රාජ්‍ය වත්කම් පෝට් සිටි කොමිසම යටතේ පාලනය වන ආයතනවලට ලබාදීමට උත්සාහ කරන්නේදැයි සැකයක් පවතින බවයි ඒ මහතා පෙන්වා දුන්නේ.

"දැන් මේ ආයෝජනයට ඉදිරිපත් වෙන කට්ටියට උපායමාර්ග සංවර්ධන පනත යටතේ සියලු බදු පහසුකම් දෙන්න කියලා තියෙනවා. උදාහරණයක් හැටියට ලාභාංශ හෝ ලාභය මත පනවන බදු අවුරුදු 25ක් යනකල් අයින් කරන්න පුළුවන්. ඉතුරු බදු වැට්, ඩියුටි, සෙස්, පේයී මේ සියලු දේ අයින් කරන්න පුළුවන්. එතකොට විශේෂ කණ්ඩායමක් හැටියට මේ කට්ටියව එකතු කරගන්න තමයි හදන්නෙ මේ ඉඩම් විකුණන්න. ඊට අමතරව දැන් මේ වැඩේ කරන්න කැබිනට් එකෙන් අනුමැතිය දීලා තියෙනවා ප්‍රවර්ධනය කිරීම සඳහා අලෙවිකරණ සමාගමක්, ඒ කියන්නෙ මාකටිං ඇන්ඩ් ඇඩ්වර්ටයිසින් කම්පැනියකුත් එකතු කරගන්න කියලා. එතකොට දැන් මොකක්ද මේ මෙතන වෙන්න යන්නෙ ? කොහෙන්ද මේ ආයෝජකයො එන්නෙ ?

දැන් පෝට් සිටි පනත සම්මත වුණා විතරයි, පෝට් සිටි එක ලංකාවට එකතුවෙන තැන තියෙන මූලික ඉඩම් කට්ටි ටික තමයි මේ දැන් විකුණන්න ලෑස්ති වෙන්නෙ. එතකොට අපට අහන්න තියෙන ප්‍රශ්නය තමයි මේ SPV රෙජිස්ටර් කරන්නෙ කොහෙද ? මේවා රෙජිස්ටර් කරන්නෙ සමාගම් පනත යටතේද ? එහෙමත් නැත්නම් මේවා රෙජිස්ටර් කරන්නෙ අලුතින් නිර්මාණය කරපු, රජයේ සමාගමක් නොවෙන පෝට් සිටි කොමිසම කියන සමාගම යටතේද ? එහෙම කළෝතින් අර ජනාධිපතිවරයා විසින් පත්කරන පස්දෙනා හෝ හත්දෙනාට පුළුවන් මේ පෝට් සිටි නීතිය යටතේ නම් මේ SPV (නිශ්චිත ආයෝජන සඳහා විශේෂයෙන් පිහිටුවන සමාගම්) රෙජිස්ටර් කරන්නෙ, එව්වාට නොයෙකුත් නිදහස් කිරීම්, මේ රටේ තියෙන නීතිවලින් නිදහස් කිරීම් ලබාදෙන්න පුළුවන්. එතකොට මේ වෙන්න යන්නෙ මොකක්ද ? මේ පෝට් සිටි එක හරහා රජයේ නොයෙකුත් ඉඩම්, වත්කම්, සමාගම් පෝට් සිටි එක හරහා පාලනය වන ආයතනවලට ලබාදෙන්නද යන්නෙ ? මේක අපට තියෙන සාධාරණ ප්‍රශ්නයක්, මේ ප්‍රශ්නෙට ආණ්ඩුව උත්තර දිය යුතුයි" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

(LNW)