Monday, November 10, 2025
Follow Us
නවක මන්ත්‍රිවරුන්ට ආනයනික ජීප් රථ

නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා පිරිවැය අතින් වාසිදායක ජීප් රථ ආනයනය කර ලබාදීමට මුදල් අමාත්‍යාංශය සූදානම් වෙයි.

නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත දිස්ත්‍රික් හා ප්‍රාදේශීය මට්ටමින් පවරා ඇති ක්ෂේත්‍ර සංවර්ධන අධීක්ෂණ කටයුතුවලදී ප්‍රවාහන පහසුකම් සලසා ගැනීම සඳහා මෙලෙස ජීප් රථ ලබා දීමට මුදල් ඇමැති මහින්ද රාජපක්ෂ මහා භාණ්ඩාගාරයේ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ. මෙතෙක් ක්‍රියාත්මක කළ තීරු බදු රහිත වාහන ආනයනය කිරීමේ බලපත්‍ර ලබා දීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් තාවකාලිකව නතර කර ඇත.

මූල්‍ය ස්ථායිතාව ආරක්ෂා කර ගැනීම සඳහා වාහන ආනයන සීමා තවදුරටත් පවත්වා ගෙන යන බවද මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කරයි. එහෙත් තෝරාගත් වාහන සීමිත ප්‍රමාණයක් කෘෂිකර්ම, වාරිමාර්ග, ඉඩම්, වනජීවි හා වන සංරක්ෂණ ක්ෂේත්‍ර සඳහා කඩිනමින් ගෙන්වීමට සැලසුම් කර ඇත. එහි දී ගිලන් රථ 50ක්, වතුර බවුසර් 50ක්, ඩබල් කැබ් රථ 50ක්ද මිලදී ගැනීමට නියමිතය. මන්ත්‍රීවරුන් සඳහා මුදල් ගෙවීමේ පදනම යටතේ වාහන ලබාදීමට සැලසුම් කර තිබේ.

මෙලෙස ආනයනය කිරීමෙන් විදේශ විනිමය දුෂ්කරතා අවම කරගත හැකි බව අමාත්‍යාංශයේ අදහසයි. මෙම වාහන මෙරට ප්‍රධාන පෙළේ වාහන සමාගමකින් මිලදී ගැනීමටද මුදල් අමාත්‍යාංශය කැබිනට් මණ්ඩලයට යෝජනා කර තිබේ.

(Aruna)