Friday, April 19, 2024
Follow Us
වසංගත අස්සේ ජාතික ආණ්ඩු කතාව යළිත් කරළියට - සාකච්ඡා වට කිහිපයක්ම තිබිලා !

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලිකත්වයෙන් ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් සාකච්ඡා වට කිහිපයක්ම පසුගිය සති කිහිපය තුළ පැවැත්වී ඇති බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

ආණ්ඩුවේ කුඩා පක්ෂ කිහිපයක් ඉදිරියේදී ආණ්ඩුවෙන් ඉවත්වීමට හෝ ස්වාධීනව කටයුතු කිරීමට තීන්දු කළහොත් විපක්ෂයේ කුඩා පක්ෂ කිහිපයක් ආණ්ඩුවට එකතු කරගනිමින් මෙම ජාතික ආණ්ඩුව පිහිටුවීමට බලධාරීන්ගේ අවධානය යොමුව ඇති බව සඳහන්.

විශේෂයෙන් කොවිඩ් වසංගත තත්වයට සහ එහි ආර්ථික අවපාතයට මුහුණ දීම සඳහා පූර්ණ දේශපාලන එකඟතාවක්, දේශපාලන පක්ෂ අතර සංහිඳියාවක් වෙනුවෙන් තමන් විවෘත ආරාධනයක් සෙසු පක්ෂවලට කළ බවට හැඟවීමට ආණ්ඩුවට මේ ඔස්සේ අවස්ථාව හිමිවන අතර ආණ්ඩුව අභ්‍යන්තරයේ සිටිමින් ගැටළු අවුළුවන පාර්ශ්ව පිටුදැකීමට ද මෙවැන්නක් හරහා එක්වරම අවස්ථාව ලැබෙන බවයි දේශපාලන විචාරකයින් පෙන්වා දෙන්නේ.

එසේම ජාතික ආණ්ඩුවක් පිහිටු වුවහොත් කැබිනට් ඇමතිකම් සංඛ්‍යාව 45ක් දක්වා ඉහළ නැංවීමට හැකියාව ලැබෙන අතර ඒ ඔස්සේ ද ආණ්ඩුව තුළ කළකිරීමෙන් පසුවන මන්ත්‍රීවරුන්ගේ සහාය යළි දිනාගැනීමට බලධාරීන්ට හැකි වනු ඇත.

කෙසේවෙතත් පසුගිය සති කිහිපය තුළ පැවති සාකච්ඡා සඳහා විපක්ෂයේ සුළු ජාතික පක්ෂ නියෝජනය කරමින් නියෝජිතයින් කිහිප දෙනෙකුම සහභාගී වී ඇති බවත් ජාතික ආණ්ඩු යෝජනාවට ඔවුන්ගෙන් යහපත් ප්‍රතිචාර ලැබී ඇති බවත් ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.

(LNW)