Thursday, April 25, 2024
Follow Us
අධික වර්ෂාව හේතුවෙන් පීඩාවට පත් ජනතාවට වන්දි ලබා දීම කඩිනමි කරන්න - වජිර අබේවර්ධන

පසුගිය දින කිහිපයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් පීඩාවට පත් මහජනතාවට වන්දි ලබා දීම සඳහා කඩිනමින් කටයුතු කළ යුතු බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන පවසනවා.

පසුගිය දින කිහිපය තුළ පැවැති අධික වර්ෂාව සමග ඇති වූ ආපදා තත්ත්වය ඉතාමත් දරුණු ලෙස ගාල්ල දිස්ත්‍රික්කයේ පවුල් 5000 කට අධික ප්‍රමාණයකට දැනටමත් බලපා ඇති බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ.

ගාල්ල දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට ද මෙම තත්ත්වය දරුණු ලෙස බලපා ඇති අතර, විශේෂයෙන් නාගොඩ ප්‍රදේශයේ පුද්ගලයන් දෙදෙනකු ද ජීවිතක්ෂයට පත්ව ඇති බව වජිර අබේවර්ධන ප්‍රකාශ කරනවා.

කෘෂිභෝග සහ තේ කර්මාන්තයට ද හානි ඇති වී ඇති බැවින් අප පාලනය කාලය තුළ ලබා දුන් වන්දි ක්‍රමයම අනුගමනය කරමින් වහාම ජනතාවට අදාල වන්දි ලබා දීම සඳහා ක්‍රියා කළ යුතු බවයි වජිර අබේවර්ධන පෙන්වා දෙන්නේ.

මාතර, රත්නපුරය, කෑගල්ල, කළුතර, කොළඹ, ගම්පහ ප්‍රදේශවල ජනතාවට ද මෙම ආපදා තත්ත්වය නිසා හානි සිදු වී ඇති බැවින් වහාම මේ පිළිබඳ සොයා බලා කෘෂිකර්මානත්ය සහ සිදු වී ඇති සියලු හානි සඳහා රජය කඩිනමින් වන්දි ගෙවීමට අවශ්‍ය පියවර සංවිධානය කළ යුතු බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන වැඩි දුරටත් සඳහන් කරනවා.

(Neth)