Wednesday, April 24, 2024
Follow Us
මන්ත්‍රී වැටුප කොවිඩ් අරමුදලට පරිත්‍යාග කරන්නැයි යෝජනාවක් !

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මාසික වැටුප, කොවිඩ් වසංගතය මර්දනය කිරීම සඳහා රජය පිහිටුවා ඇති අරමුදලට බැර කරන්නැයි යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා. පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය මෙම යෝජනාව ඉදිරිපත් කර තිබේ.

එම සංවිධානය නිකුත් කළ නිවේදනයේ මෙසේ සඳහන් වේ.

'කොවිඩ් වසංගතය සීග්‍රයෙන් රටපුරා පැතිර යන මෙම අවස්ථාවේ කොවිඩ් වසංගතය පාලනය කිරීම සඳහා රජයට සහයෝගය ලබාදෙන්නැයි කොරෝනා පාලන රාජ්‍ය අමාත්‍යවරිය දානපතියන්ගෙන් ඊයේ දිනයේදී ඉල්ලා තිබුණා.

කොවිඩ් වසංගතය මර්දනය කිරීම සදහා රජය ගෙන යනු ලබන මෙම වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීම සදහා ජනතාව අනිවාර්යෙන්ම සිය දායකත්වය ලබාදීම කළ යුතුව ඇත. ඒ අනුව මෙරට සමස්ත ජනතාවගෙන් අප සංවිධානය ඉල්ලා සිටින්නේ ඒ සදහා සිය මූල්‍යමය දායකත්වය තමන්ට හැකි අයුරින් ලබාදෙන ලෙසයි.

තවද මෙරට පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුගෙන්ද අප ඉල්ලා සිටින්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයට සිය මුල්‍යමය දායකත්වය ලබාදෙන ලෙසයි.

බොහෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඉහළ ආදායමක් ලබන පුද්ගලයින් වෙයි. පවතින කොවිඩ් වසංගත තත්වය නිසා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ගමන් වියදම් හා වෙනත් වියදම්ද අඩුවී ඇත. එම නිසා රජය මුහුණදී ඇති මෙම අර්බුදකාරී අවස්ථාවේදී මානව හිතවාදීන්වන සියලුම පාර්මේන්තු මන්ත්‍රීවරුන්ගෙන් අප සංවිධානය ඉතා කාරුණිකව නැවත නැවතත් ඉල්ලා සිටින්නේ රජය ගෙන යනු ලබන මෙම වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීම මූල්‍යමය දායකත්වය ලබාදෙන ලෙසයි. අවම වශයෙන් මසක හෝ දෙකක වැටුප මේ සදහා පරිත්‍යාග කරන ලෙසයි.'

(LNW)