Tuesday, April 23, 2024
Follow Us
විමල් චම්පිකව පාවා දුන් හැටි - විමල්ගේ පක්ෂයේ හිටපු මහලේකම් හෙළිකරයි !

අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ දේශපාලන පක්ෂය වන ජාතික නිදහස් පෙරමුණේ හිටපු මහලේකම් ප්‍රියන්ජිත් විතාරණ මහතා සමාජ මාධ්‍ය ඔස්සේ කළ අනාවරණයක් පහතින් දැක්වේ.

***************************

 

ඇත්තටම මම මේ කියන කතාවට පාර්ශව තුනක් සම්බන්ධයි.එකක් ජාතික නිදහස් පෙරමුණ.අනික ජාතික හෙළ උරුමය.අනිත් පාර්ශ්වය තමයි 2010/2015 මහින්ද රාජපක්ෂ ආණ්ඩුව.අද ඒවා ඒ විදිහටම නැති වුණාට මේ හැම කෙනාම ජීවතුන් අතර ඉන්නවා.ඒක නිසා මම මේ කියන කතාවේ ඇත්ත නැත්ත හොයා ගන්න පුළුවන්.

එදා 2014 වෙනකොට තිබුණ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව අත්තනෝමතික ගමනක් යමින් හිටියා.ඒ ගමන රටේ බොහෝ දෙනෙක් අනුමත කළේ නෑ.ඒ ගැන ලොකු සංවාදයක් සමාජයේ තිබුණා.ඒ සංවාදය ජාතික නිදහස් පෙරමුණ ඇතුළටත් ආවා.එක වෙලාවක 2014 දී ජානීපෙ දේපාලන මණ්ඩලය තීරණයක් ගත්තා එක්කෝ මේ ගමන ආපිට හරවන්න ඕනි,නැත්තං ආණ්ඩුවෙන් එළියට බහින්න ඕනි කියලා.එතනදි පළවෙනි ක්‍රියාමාර්ග විදිහට තේරුවේ ආණ්ඩුව යන වැරදි ගමන වහාම ආපිට හරවන්න මැදිහත් වෙන්න ඕනි කියලා. ඒ වෙනුවෙන් ආණ්ඩුව ඇතුළේ එකතු කරගන්න පුළුවන් හැම පාර්ශ්වයක් එකතු කර ගමු කියලා.අපි ආණ්ඩුව ඇතුළේ ඉන්න ගොඩක් පක්ෂවලට කතා කළා.ඒත් අපිත් එක්ක සාකච්ඡා කරන්න එකඟ උනේ ජාතික හෙළ උරුමය විතරයි.

මට හිතෙන්නේ මහින්ද ආණ්ඩුවේ ගමන ගැන අපිට වගේම එයාලටත් බරපතල ප්‍රශ්න තිබුණා.අපි ප්‍රධාන සාකච්ඡාවට දෙකක් කළා. දෙකම කළේ ඇමති පාඨළී චම්පික රණවකගේ නිළ නිවසේ.මමයි,විමලුයි සාකච්ඡා දෙකටම සහභාගී වුනා.ඊට අමතරව වීරකුමාරයි, පියසිරියි,මුස්ලිම්ලුයි දෙකටම හරි එකකට හරි සහභාගී උනා.හෙළ උරුමය පැත්තෙන් පාඨළී, රතන හිමි,ගම්මන්පිල,අනුරුද්ධ ප්‍රදීප්, නිශාන්ත වර්ණසිංහ සහභාගී වුණා. සාකච්ඡාවලදී අපි අතර එකඟතාවක් ආවා. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව යන මේ හිතුවක්කාරී ගමන නතර කරන්න ඕනි කියලා.ඒ වෙනුවෙන් පක්ෂ දෙක ඒකාබද්ධවත් වෙන වෙනමත් ක්‍රියා මාර්ග තෝරන්න ඕනි කියලා.

ඒකාබද්ධ ක්‍රියාමාර්ග විදිහට තේරුවේ ආණ්ඩුව ඇතුළේ එන ප්‍රශ්නවලදී අවබෝධයෙන් කටයුතු කරමු කියලා, ඒකාබද්ධ මාධ්‍ය සාකච්ඡාවට කීහිපයක් තියන්නත් තීරණය කළා.මට මතක විදිහට අපි ඒකාබද්ධ මාධ්‍ය සාකච්ඡා දෙකක් විතර තිබ්බා.හෙළ උරුමය පැත්තෙන් කොළඹ දිස්ත්‍රික්කයේ විමල් හා චම්පික යන රැස්වීම් වටයක් සංවිධානය කළා.ඒ පැත්තෙන් ඒ රැස්වීම වටය සම්බන්ධීකරණ කළේ දැන් කොළඹ විශ්ව විද්‍යාලයේ ජේෂඨ කථිකාචාර්ය 43 සේනානායකයේ අනුරුද්ධ ප්‍රදීප්.අපේ පැත්තෙන්ම මම.මට මතකයි අනුරුද්ධ මට ඒ සම්බන්ධව අවස්ථා කිහිපයක් දුරකතනයෙන් කතා කළා.ඊට පස්සේ පක්ෂ දෙක විදිහට වෙනම ක්‍රියාමාර්ගත් තේරුවා.මෙතනදී ජාතික හෙළ උරුමය පක්ෂයක් විදිහට තේරුවේ මොකද්ද කියලා මට මතක නෑ.මේක බලන එදා ජාතික හෙළ උරුමයේ හිටපු නායකයෙක් ඉන්නවා නම් මගේ මතකය අලුත් කරන්න පුළුවන්.

ජාතික නිදහස් පෙරමුණ විදිහට අපි තීරණය කළේ කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී විශේෂ පක්ෂ මහ සමුළුවක් කැදවන්න.අපි ඒ වෙනුවෙන් යෝජනා 12 ක් ආණ්ඩුවට ඉදිරිපත් කරමින් දැවැන්ත මහ සමුළුවක් කළා.5005 ක් පුටු තියෙන සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණය අතුරු සිදුරු නැතිව පිරෙව්වා.අභිමානවත් විශේෂ මහ සමුළුවක් කළා.විමල්,මම,වීරකුමාර,ජයන්ත ඒ සමුළුව ඇමතුවා.අපි ආණ්ඩුවට අභියෝගයක් දුන්නා. වහාම මේ යෝජනා 12 ක්‍රියාත්මක කරන්න නැත්තං අපි ආණ්ඩුවෙන් එළියට බහිනවා කියලා.අපේ සාමාජිකයෝ එදා බොහෝම උද්යෝගිමත්ව හිටියා මට මතකයි.අපි ඒ යෝජනාවලිය ආණ්ඩුවට ඉදිරිපත් කළා.අමතක කරන්න එපා ඒවා පක්ෂ මහ සමුළුවකදී සම්මත කරපු යෝජනා.විමලුත්, මමත් ඇතුළු තව සාමාජිකයන් දසහස් ගානක් සම්මත කරපු යෝජනා.ඒත් ආණ්ඩුවෙන් කිසිදු ප්‍රතිචාරයක් ලැබුණේ නෑ.ශ්‍රී ලංකා නිදහස් පක්ෂ භාණ්ඩාගාරික විදිහට ඩලස් අලහප්පෙරුම ලිපියක් එවලා තිබුණා ඒ ගැන සළකා බලනවා කියලා.පක්ෂයක් හැටියට අපිව පට්ට හෑල්ලු කරපු ලිපියක් ඒක.

ජානීපෙ විදිහට අපිත් කිසිම ක්‍රියාමාර්ගකට ගියේ නෑ.විමල් කැබිනට් මණ්ඩලයට සහභාගී වුනේ නෑ.මහා ලොකු සිංහ නාදයක් කරලා මීයෝ වගේ සද්ද නෑ.ලැජ්ජාවේ බෑ.මේ සම්බන්ධව සංවාදයක් ජානීපෙ දේපාලන මණ්ඩලයේ නැවත ඇති වුණා.මට මතකයි පියසිරි විමල්ට යුද්ධ ප්‍රකාශ කරනවා. කොහොම උනත් අපේ ක්‍රියා මාර්ගය එතනින් නැවතුනා,ඒ සංවාදයත් යට ගියා.මහින්ද අවුරුද්දක් ඉතිරිව තිබියදී ජනාධිපතිවරණයට යන්න තීරණය කළා,ඒ නිසා අපි නිතර නිතර පක්ෂ නායක රැස්වීමවලට සහභාගී වුණා. පස්සේ අපිට රාජපක්ෂ කදවුර ඇතුළෙන්ම ඇත්ත දැන ගන්න පුඵවන් උනා.සටන යන අතරතුර විමල් සටන පාවාදීලා.සටන එක්ක චම්පිකත් පාවලා දීලා.විමල් මහින්ද පාර්ශවයට කියලා අපි එළියට බහිනවා වගේ ඉන්නවා.ඒත් මමයි,ගම්මන්පිලයි ආපහු හැරිලා එනවා,චම්පික යනවා කියලා.

ඇත්තටම සටන අවසන් උනේ එහෙමයි. 2015 ජනධිපතිවරණයේදී චම්පික එළියට ගියා. විමල් හා ගම්මන්පිල හැරිලා ආවා.ඇත්තටම මේක නින්දා සහගත පාවාදීමක්.අපිමයි සටන තේරුවේ.අපේ දේශපාලන හතුරා උනේ රාජපක්ෂවරු.අපි සටනට මිතුරු පාර්ශව එකතු කර ගත්තා.අපිට එකතු වුණ එකම මිතුරු පාර්ශවය ජාතික හෙළ උරුමය. නායකයෙක් විදිහට පාඨළී.සටන් යන අතරතුර විමල් හතුරා එක්ක එකඟතාවයකට ගිහින්. අපිත් එක්ක එකට සටන් කරමින් හිටිය මිතුරා හතුරාට පාවලා දීලා.ඒ විතරක් නෙවෙයි ඒ මිත්‍ර කදවුරේ හිටිය දුර්වලයෙක් ගලවලා ගේන බවට හතුරු පාර්ශවයට පොරෝන්දු වෙලා. ඇත්තටම එදා මහින්දලාට චම්පික බේරා ගැනීමට තිබුණ අවස්ථාව නැති කළේ විමල්. ඒක මම හොඳටම දන්නවා.මහින්දලාත් විමල්ව විශ්වස කරගෙන තමයි වැඩ තේරුවේ.2015 ජනාධිපතිවරණයට පෙර අපි මහින්ද හමුවුණ වෙලාවලදීත් මහින්ද චම්පික ගැන බලාපොරොත්තු අත හැරලා තියෙන බව අපට තේරුණා.

කොහොම උනත් ඇත්තටම මම මෙතනදී චම්පික ගැන වචනයක් කියන්න ඕනි.ඒ වගේම මේක කියවන අයට කියන්න ඕනි මම 43 සේනානායකට යන්නේ නෑ කියලත්.චම්පික ඒ පාවාදීම ඉස්සරහා යටත් වුණේ නෑ. අභියෝග බාරගෙන එළියට ගියා.ගිහින් මහින්ද පරද්දලා පෙන්නුවා.පාර්ලිමේන්තු මැතිවරණයත් ජයග්‍රහණය කළා.මට මෙතනදී කියන්න ඕනි ඒක නෙවෙයි.විමල්ලා පාඨළී වගේ දක්ෂයා මහින්ද ළග ඉන්නවාට කැමති උනේ නෑ.එයා කැමති එයා වගේ පම්පෝරිකාරයෝ ඉන්නවට.මහින්දලත් විමල්ගේ ඒ ලනුව කෑවා.ඇත්තටම 2015 මහින්ද පරද්දන්න වැඩිම දායකත්වය දැක්වූවේ විමල්.විමල් මහින්දගේ වේදිකාව හිස් කරලා ඒ වේදිකාවේ එකම වීරයා වුනා.අද මහිදන්ලාට,බැසිල්ලාට තේරෙනවා ඇති පාඨළීලා තියා ගන්න බැරිවීමේ ආනිසංශ.අද මේ වසංගත ඉස්සර පමපෝරි ගහපු විමල්ලා හැංගිලා.හැංගිච්ච තැනක්වත් හොයා ගන්න බෑ.

විමල් පාඨළීට විතරයි නෙවෙයි තමන්ගේ පක්ෂයටත් ඔය දේම කළා.විමල්ට වඩා දැනුම තියන,ප්‍රායෝගික මිනිස්සු එළෙව්වා.එළවලා තමන්ට එහෙයි කියන එහෙයින් ටිකක් විතරක් තියා ගත්තා.දැන් මම මේ කියපු කතාවේ ඉතිරි කොටස කියන්න තියෙන්නේ මහින්ද පාර්ශවයට.ඒ පාඨළී ගැන විමල් කියපු කතාව.මම විශ්වාස කරනවා ඒ සත්‍යයත් කවදාහරි එළියට එයි කියලා.මොකද සත්‍යය හංගන්න බෑ වගේම,විමල් කියපු පාර වැරදී කියලා දැන් රාජපක්ෂලාටත් තේරිලා ඇති.ඒ වගේම හෙට දවසෙත් දේශපාලන සන්ධාන හැදෙයි.විමල්ලා,පාඨළීලා ආය කරට අත දාගනී.ඒ තමයි දේශපාලනය.ඒක මට ප්‍රශ්නයක් නෑ.ඒත් ඔය හැම සන්ධානයකට උඩින්ම තියෙන්න ඕනි දේශපාලන සදාචාරයක් තියනවා.විමල් කවදාවත් ඒ සදාචාරය රැක්කේ නෑ.

- ප්‍රියන්ජිත් විතාරණ.

(LNW)