Wednesday, December 31, 2025
Follow Us
ආණ්ඩුවේ ත්‍රීවීල් පක්ෂ සහ අගමැති මහින්ද අතර විශේෂ සාකච්ඡාවක් අනිද්දා ....

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ආණ්ඩුවට සම්බන්ධ කුඩා පක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර විශේෂ සාකච්ඡාවක් අනිද්දා (11) පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

පිවිතුරු හෙළ උරුමයේ නායක, අමාත්‍ය උදය ගම්මන්පිල මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ අනිද්දා පස්වරු 6.00ට මෙම සාකච්ඡාව අරලියගහ මන්දිරයේදී පැවැත්වෙනු ඇති බවයි.

අවසන් වරට පැවති ආණ්ඩුවේ පක්ෂ නායක රැස්වීම් දෙකටම විමල් වීරවංශ මහතා ඇතුළු මෙම කුඩා පක්ෂ නායකයින් සහභාගී නොවූයේ එම රැස්වීම් සඳහා පක්ෂ නායකයින් නොවන විශාල පිරිසක් කැඳවා ඇති බවට චෝදනා කරමිනි. අදාළ රැස්වීම් සඳහා 50ක පමණ පිරිසක් සහභාගී වී සිටි අතර විමල්ලා ගම්මන්පිලලාගේ ඉල්ලීම වී ඇත්තේ ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ 16යේ නායකයින් පමණක් පක්ෂ නායක රැස්වීමට සහභාගී වියයුතු බවටය. එම පක්ෂ 16න් 11ක් විමල්ලාගේ කුඩා පක්ෂ සන්ධානය නියෝජනය කරයි.

එම ඉල්ලීම ඉටු නොවීම නිසා මෙසේ මෙම කුඩා පක්ෂ නායකයින් වෙනම අගමැතිවරයා හමුවී සාකච්ඡා කිරීමට තීරණය කර තිබිණි.

(LNW)