හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නට සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති මොහොමඩ් රූමි යන අයට එරෙහිව ගොනු කර ඇති නඩුව ජූලි මස 7 දා කැඳවීමට කොළඹ මහාධිකරණය අද දින ලබා දුන්නා.
ඒ පසුගිය ජනාධිපතිවරණය සමයේ සුදු වෑන් වලින් පුද්ගලයන් පැහැර ගැනීමක් සිදු වූ බවට පදනම් විරහිත කරුණු මාධ්‍ය හමුවකදී ඉදිරිපත් කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන්.
මෙම සිද්ධියට අදාළව විත්තිකරුවන් වෙත අධි චෝදනා කොළඹ මහාධිකරණය මීට පෙර භාර දෙන ලදී .
අද මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා ඉදිරියේ කැඳවූ අතර එහිදී නීතිපතිවරයා දැනුම් දුන්නේ මෙම නඩුවේ සාක්ෂි වශයෙන් ඉදිරිපත්කර ඇති වීඩියෝ දර්ශන උත්පාදනය කළ පරිගණක පද්ධති පරික්ෂා කිරීම සඳහා විත්ති පාර්ශ්වයට අවස්ථාවක් ලබාදී තිබුණත් ඒවා පරික්ෂා කිරීමට විත්තිය විසින් නීතිඥවරයෙකු යොමුකර නොතිබූ බවයි.
ඒ අනුව අදාළ පරිගණක පද්ධති පරික්ෂා කිරීම සඳහා මැයි මස 14 වනදා නීතිඥවරයෙකු සහභාගී කරන ලෙස විනිසුරුවරයා විත්ති පාර්ශවයට නියෝග කරන ලදී.
දණ්ඩ නිති සංග්‍රහය යටතේ බොරු සාක්ෂි නිර්මාණය, ජනාධිපතිවරණයේ ප්‍රතිඵල වලට බලපෑමක් ඇතිවිය හැකි ආකාරයේ දූෂිත ක්‍රියාවක් සිදු කිරීම යනාදී අධිචෝදනා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ඇතුළු විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව ගොනු කර ඇත.
මෙම මාධ්‍ය සාකච්ඡාවට සහභාගි වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් දෙදෙනෙකු වන සරත් කුමාර සහ අතුල සංජීව මදනායක යන අය මෙම නඩුවේ සාක්ෂිකරුවන් වශයෙන් නීතිපතිවරයා විසින් නම් කර ඇත.
(Neth)