Wednesday, December 31, 2025
Follow Us
ආණ්ඩුවට හෙට තීරණාත්මකයි. සාකච්ඡාව මහින්දගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී !

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවක් හෙට (19) අරලියගහ මන්දිරයේදී පැවැත්වීමට නියමිතව තිබේ.

මෙහිදී පළාත් සභා මැතිවරණය පවත්වන ක්‍රමය පිළිබඳව සහ කොළඹ වරාය නගර කොමිෂන් සභා පනත පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතය.

පළාත් සභා මැතිවරණය පවත්වන ක්‍රමය සම්බන්ධයෙන් මීට පෙර අවස්ථා තුනකදීම කැබිනට් මණ්ඩලය තුළ හෝ එකඟතාවකට පැමිණීමට ආණ්ඩුවට නොහැකි වී තිබුණු අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරිපත් කර ඇති යෝජනාවට විමල් වීරවංශ මහතාගේ නායකත්වයෙන් යුත් කුඩා පක්ෂ සන්ධානයේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දැඩි විරෝධය එල්ල වී තිබිණි.

කොළඹ වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳ ආන්දෝලනාත්මක තත්වය මතුවූයේ පළාත් සභා ප්‍රශ්නය උත්සන්න වෙමින් පවතින වටපිටාවකදීය. විශේෂයෙන් ආණ්ඩුවට සහාය දෙන ප්‍රබල භික්ෂුන් වහන්සේලා මෙම වරාය නගර පනතට දැඩි විරෝධයක් දැක්වීම තුළ ආණ්ඩුවේ ජාතිකවාදී සුළු පක්ෂ අර්බුදකාරී තත්වයකට තල්ලු වෙමින් සිටී. ඒ අනුව හෙට පැවැත්වීමට නියමිත සාකච්ඡාව ආණ්ඩුවේ ඉදිරි පැවැත්මේ ස්වරූපය පිළිබඳව අතිශයින්ම තීරණාත්මක එකක් වනු ඇති බවයි දේශපාලන ආරංචිමාර්ග පවසන්නේ.

(LNW)