Thursday, January 01, 2026
Follow Us
විජයදාස රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ ක්‍රියාව සදාචාර සම්පන්න නැහැ - අමාත්‍ය සරත් වීරසේකර

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් තමන්ට දුරකථන ඇමතුමක් ලබාදෙමින් තර්ජනාත්මකව ආමන්ත්‍රණය කළ බව පවසා පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා ඊයේ මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රසිද්ධියේ කියා සිටීම සදාචාර සම්පන්න කටයුත්තක් නොවන බව මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර ප්‍රකාශ කර සිටිනවා.

" විජයදාස රාජපක්ෂ මන්ත්‍රිතුමා මාධ්‍ය හමුවක් පවත්වමින් සිදුකළ දේ සදාචාර සම්පන්න නැහැ.

එතුමාට මේ පෝට් සිටි ව්‍යාපෘතිය සම්බන්ධයෙන් තිබෙන ගැටළු පිලිබඳව ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී කතා කරලා අවශ්‍ය කරුණු පැහැදිලි කර ගැනීමක් සිදුකර ගන්න තිබුණා. නමුත් ඔහු එවැනි දෙයක් සිදුකලේ නැහැ.

පෝට් සිටි එකේ ආරක්ෂාවට ඉන්නේ ශ්‍රී ලංකා පොලිසියයි. හෙලිකොප්ටරයක් උනත් ගොඩ බාන්න අවශ්‍යනම් ඒ සඳහා නියමිත අවසරය ලබා ගන්න අවශ්‍ය වෙනවා. ඒ වගේ පසුබිමක් තිබියදී විජයදාස රාජපක්ෂ මන්ත්‍රීතුමා ප්‍රකාශ කරපු දේ වැරදියි.

පෝට් සිටි ව්‍යාපෘතිය කියන්නේ ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ හැරවුම් ලක්ෂ්‍යයි. දැන් ඉදලම මේක කඩාකප්පල් කරන්න විවිධ පාර්ශව උත්සහ කරනවා. අපිට මේ ගැන තියෙන්නේ විශාල සැකයක්.

ඒ වගේමයි විජයදාස රාජපක්ෂ මන්ත්‍රීතුමාගේ ක්‍රියා කලාපය ගැනත් අපිට දැන් සැකයක් තියෙනවා. මොකද එතුමා 19 සහ 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන දෙකටම අත උස්සපු මන්ත්‍රීවරයෙක්. ඒ වගේම ඔහු අවස්ථා කිහිපයකදීම පක්ෂ මාරු කරපු කෙනෙක්" සරත් වීරසේකර අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.

කෝට්ටේ රජමහා විහාරස්ථානයේ දී පැවැති හිසතෙල් ගෑමේ මංගල්‍යය සඳහා එක්වෙමින් සරත් වීරසේකර අමාත්‍යවරයා මෙම අදහස් පළකර සිටිය අතර මෙම අවස්ථාව සඳහා රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් ද එක්ව සිටියා.

(NEth)