Thursday, January 01, 2026
Follow Us
වමේ පක්ෂ 11ක් ශ්‍රීලනිපය සමග එක්ව මැයි රැළියක්

එක්සත් ජාතික පක්ෂය හැර අනෙක් ප්‍රධාන දේශපාලන පක්ෂ මැයි රැළි සහ පෙළපාළි මෙවර පැවැත්වීමට තීරණය කර ඇත. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සියලු දේශපාලන පක්ෂ එකතුවෙන් කොළඹ දී මැයි රැළියක් පැවැත්වීමට සූදානම් වෙයි. ඒ පිළිබඳව ලබන 19 වැනිදා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමේදී අවසන් තීරණයක් ගැනීමට නියමිතය. කෙසේ වෙතත් ආණ්ඩුවේ හවුල්කාර පක්ෂයක් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පොළොන්නරුවේ දී සිය මැයි රැලිය පැවැත්වීමට තීරණය කර ඇත.

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ එ‌කොළහක් පොළොන්නරුවේ පැවැත්වෙන මැයි රැලියට එක්වීමට සූදානමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට ලබාදීමට එරෙහිව එකඟ වූ අමාත්‍ය විමල් වීරවංශගේ ප්‍රධානත්වයෙන් යුතු පක්ෂ 11ක් මෙලෙස ඊට එකතු වීමට සාකච්ඡා ආරම්භ කර ඇත. සමගි ජන බලවේගයේ මැයි රැලිය බොරැල්ල කැම්බල් පිටියේ දී පැවැත්වීමට සැලසුම් කර ඇත. ප්‍රේමදාස ගුණ සමරුවද ඊට සමගාමීව පැවැත්වීමට නියමිතය. සංවිධාන කටයුතු සඳහා රංජිත් මද්දුම බණ්ඩාර, තිස්ස අත්තනායක, හරීන් ප්‍රනාන්දු හා එස්.එම්. මරික්කාර්ගේ ප්‍රධානත්වයෙන් කමිටුවක්ද පත් කර ඇත. එක්සත් ජාතික පක්ෂය චාම් ආකාරයට සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී මැයි දිනය සැමරීමට සැලසුම් කර ඇත. කොවිඩ් 19 වසංගතය තවමත් අවසන් වී නොමැති වකවානුවක ජනතාව කොළඹට ගෙන්වා අනාරක්ෂිත කිරීමට සූදානමක් නොමැති බව පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පවසයි.

(Aruna)