Thursday, January 01, 2026
Follow Us
පළාත් සභා මැතිවරණයේදී තනිවම තරග වදින්නැයි ශ්‍රීලනිප බිම් මට්ටමෙන් දැඩි බලපෑමක් !

එළඹෙන පළාත් සභා මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු සන්ධානයෙන් නොව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තනිවම තරග වැදිය යුතු බවට දැඩි ඉල්ලීමක් පක්ෂයෙහි බිම් මට්ටමෙන් නැඟෙමින් පවතින බව වාර්තා වේ.

ශ්‍රීලනිපයේ ප්‍රාදේශීය සභා සහ නගර සභා නියෝජිතයින් 1064 දෙනා වෙතින් මෙම ඉල්ලීම පක්ෂ නායකත්වය වෙත දිගින් දිගටම ඉදිරිපත් වෙමින් පවතින බවයි ආරංචිමාර්ග පැවසුවේ.

මීට පෙර සන්ධානගතවූ සෑම අවස්ථාවකදීම ශ්‍රීලනිපය ප්‍රධාන පක්ෂය වශයෙන් ඊට එක්වුවත් මෙවර එය සන්ධානයකට එක්ව සිටින්නේ කුඩා පක්ෂයක් වශයෙන් බව පෙන්වා දී ඇති ශ්‍රීලනිප පළාත් පාලන නියෝජිතයින් අවධාරණය කර ඇත්තේ සන්ධානය තුළ තම පක්ෂය දියවීයාමේ අවදානම බැහැර කළ නොහැකි බවයි.

එමෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ වනවිට රාජ්‍ය පාලනයෙහි පෙන්වන අසමත්කම් නිසා ඔවුන්ට එරෙහිව ජනතා විරෝධයක් ගොඩනැගෙමින් පවතින බැවින් සන්ධානගතව මැතිවරණයට ඉදිරිපත් වීම තුළ සිදුවන්නේ ඒ විරෝධයත් තමන්ගේ කරමත පටවා ගැනීමට ශ්‍රීලනිපයට සිදුවීම බවත් ඔවුන් අවධාරණය කර තිබේ.

එසේම පොහොට්ටුව මහමැතිවරණයේ ද තමන්ට ලබාදුන් පොරොන්දු ඒ ආකාරයෙන්ම ඉටු නොකළ හෙයින් මෙවරත් තමන්ට රැවටීමට සිදුවීමේ වැඩි සම්භාවිතාවක් පවතින බවත් ඔවුන් පෙන්වා දී ඇත.

ඒ අනුව පාක්ෂිකයින්ගේ ආත්ම විශ්වාසයත් රැකගෙන, පක්ෂයත් රැකගනිමින් ආණ්ඩුව තුළ පවා තමන්ගේ ස්වාධීනත්වයත් ආරක්ෂා කරගැනීම සඳහා සුදුසුම ක්‍රමය වන්නේ පළාත් සභා මැතිවරණයේදී අත ලකුණින් හෝ බුලත් කොළය ලකුණින් තරග වැදීම බවයි ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ.

(LNW)