Thursday, January 01, 2026
Follow Us
රවී කරුණානායකට ඇප

2016 මාර්තු 31 සිදු වූ බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව සිටි හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක ඇතුළු විත්තිකරුවන් හත්දෙනෙකු ඇප මත මුදා හරින ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් නියෝග කළේය.

අමල් රණරාජා, නාමල් බලල්ලේ සහ ආදිත්‍ය පටබැඳිගේ යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් එම නියෝගය කරනු ලැබීය.

එක් එක් විත්තිකරු රුපියල් ලක්ෂ 10 බැගින්වූ මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 100 බැගින් වූ ශරීර ඇප දෙකක් මත විත්තිකරුවන් මුදා හැර තිබේ.

විත්තිකරුවන්ගේ විදේශ ගමන් තහනම් කරන බවට නියෝග කර ඇති අතර එම නියෝගය ආගමන විගමන පාලකවරයා ඇතුළු ගුවන්තොටුපල බලධාරීන් වෙත දැනුම් දීමට පියවර ගන්නා ලෙසද විනිසුරු මඩුල්ල නියෝග කර සිටියේය.

විත්තිකරුවන් නඩු විභාග සඳහා අඛණ්ඩව පෙනී සිටීම අත්‍යාවශ්‍ය කරුණක් වන බැවින් නඩු විභාගයට පෙනී සිටීම මඟහරිනු ලැබූවොත් ඇප අවලංගු කොට නඩු විභාග අවසන් වනතුරු රක්ෂිත බන්ධනාගාර ගත කරන බව ද නියම කළේය.

නඩුව යළි අප්‍රේල් මස 29 වනදා කැඳවීමට ද නියම කෙරුණි.

මේ අතර අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු විත්තිකරුවන් 11 දෙනෙකුට එරෙහිව තවත් නඩුවක් අද දහවල් විභාගයට ගැනීමට නියමිතව ඇත.

(Aruna)