Thursday, January 01, 2026
Follow Us
ඇමති ජොන්ස්ටන් ඇතුළු තිදෙනෙක් නිදොස් කොට නිදහස්

අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු තුන් දෙනෙකුට එරෙහිව ඉකුත් යහපාලන රජය සමයේ ගොනුකර තිබූ නඩු දෙකකින් ඔවුන්ව නිදහස් කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (26) නියම කර තිබේ.

ස.තො.ස සේවකයන් 153 දෙනෙකු ඔවුන්ගේ රාජකාරිවලින් ඉවත්කර දේශපාලන කටයුතුවලට යොදවා ගැනීම තුලින් රජයට රුපියල් කෝටි 04ක පාඩුවක් කළේයැයි චෝදනා එල්ලකර තිබුණි .

අද (26) නඩුව කඳවු අවස්ථාවේ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා විසින් මෙම නියෝගය කළේය.

කොළඹ මහාධිකරණය විසින් කරන ලද නියෝගයකට අනුව ඔවුන්ව නිදහස් කරන බවද මහෙස්ත්‍රාත්වරයා සඳහන් කළේය.

මේ අනුව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, ස.තො.ස ආයතනයේ හිටපු සභාපතිවරයෙකු වන එරාජ් ප්‍රනාන්දු සහ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයෙකු වන මොහොමඩ් සාකීර් යන අය නිදහස් කර තිබේ.

අල්ලස් කොමිසම ගොනුකළ නඩුවට එරෙහිව ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඉදිරිපත්කළ ප්‍රතිශෝධන පෙත්සමක් විභාග කළ කොළඹ මහාධිකරණය අල්ලස් කොමිසම විසින් අදාළ නඩු ගොනුකර තිබෙන ආකාරය නීතියට පටහැනි බවට තීන්දුකර තිබේ.

එම තීන්දුවට අනුව මහෙස්ත්‍රාත්වරයා විසින් එම විත්තිකරුවන් ව අද නිදහස් කරනු ලබා ඇත.

(Aruna)