Tuesday, August 26, 2025
Follow Us
“යහපාලනය” ඇති කළ ගැටලුවලට විසඳුම් සෙවීමට වැඩි කාලයක් යොදවන්න වෙලා – ජනාධිපති

ජනාධිපතිවරයා ලෙස තමන් ගමින් ගමට යන්නේ සැබෑ ජනතා ගැටලු හඳුනා ගනිමින් ඒවාට විසඳුම් දීමට බවත් දීර්ඝකාලීනව ජනතාව පීඩාවට පත් කරන ගැටලුවලට විසඳුම විධිමත් සංවර්ධනය පමණක් බවත් නුගේගොඩ වැලි පාර්ක් උද්‍යානයේ ඊයේ (24) දින පැවති පොදුජන පෙරමුණ අනුබද්ධ සංවිධාන නියෝජිත හමුව අමතමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසුවේය.

ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති රාමුව සහ වැඩපිළිවෙළ රජය ඉදිරිපත් කර ඇති බවත් ප්‍රතිපත්තියක් සහ වැඩපිළිවෙළක් නොමැති පිරිසක් ඊට පහර ගසමින් සිටින බවත් පැවසූ ජනාධිපතිවරයා එහිදී අවධාරණය කර සිටියේ, කුමන බාධක, විවේචන පැමිණිය ද ජනතාව වෙනුවෙන් ගෙනයන වැඩපිළිවෙළ අඩපණ නොකරන බවයි.

තවද වත්මන් රජයට මෙම යුගයේ ඇති වූ ගැටලුවලට නොව පසුගිය යහපාලන ආණ්ඩු සමයේ ඇති කළ ගැටලුවලට මුහුණ දීමට සිදුව ඇති බව සිහිපත් කළ ජනාධිපතිවරයා වැඩිදුටත් සඳහන් කළේ වත්මන් රජය බලයට පැමිණ මාස 16ක් වැනි කෙටි කාලයකදී රට තුළ පැහැදිලි ප්‍රතිපත්තිමය වෙනසක් සිදු කර ඇති බවයි.

ඔවුන්ම ඇති කළ ගැටලු මතු කරමින් එදා ආණ්ඩුවේ සිටි අයම අද රජයට විරුද්ධව උද්ඝෝෂණවල නිරතවන බව පැවසූ ජනාධිපතිවරයා රජයේ ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාවට නංවන අතර ඔවුන් ඇති කළ ගැටලුවලට පිළිතුරු සෙවීමට වැඩි කාලයක් වැය කිරීමට සිදුව ඇතැයි ද පැවසීය.

(Lanka Leads)