Tuesday, April 23, 2024
Follow Us
සහරාන් හෂීම්ට සැඟව සිටීමට කිසියම් ආරක්ෂක අංශයක් සහය දෙන්න ඇති? -හිස්බුල්ලා

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ බදාදා (25 වනදා) තෙවන දිනටත් සාක්ෂි ලබාදෙමින් නැගෙනහිර පළාතේ හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා අනාවරණය කළේ සහරාන් හෂීම්ට සැඟව සිටීමට කිසියම් ආරක්ෂක අංශයක් සහය ලබාදෙන්නට ඇතැයි තමන් විශ්වාස කරන බවය.

එහිදි ජනාධිපති කොමිසම සිදුකළ විමසීමකට අනුව එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා තමන් විසින් ඉදිකරන මඩකලපුව විශ්වවිද්‍යාලයේ ත්‍රිමාණ සජීවීකරණ සැලැස්මක් කොමිසම හමුවේ ඉදිරිපත් කරමින් ඒ පිළිබඳව පැහැදිලි කළේ මෙසේය:

ස්වාමිනි, Batticaloa Campus කියන්නේ පෞද්ගලික විශ්වවිද්‍යාලයක්. මේක මම හැදුවේ නැගෙනහිර පළාතේ දුප්පත් අහිංසක ළමයින්ට ඉගෙනගන්න. පෞද්ගලික විශ්වවිද්‍යාල තියෙන්නේ කොළඹ විතරයි. නැගෙනහිර පළාතේ එහෙම නැහැ. කොළඹ පෞද්ගලික විශ්වවිද්‍යාලයකින් ඉංජිනේරු උපාධියක් ගන්න ගියොත් ලක්ෂ 25 ක් විතර යනවා. නමුත් මට ඕනේ ලක්ෂ තුනකින් විතර උපාධිය දෙන්න. මේක හදලා ඉවර වෙද්දි මේක තමයි ආසියාවේ ලොකුම විශ්වවිද්‍යාලය. අපි අක්කර 100 ක ඉඩමක මේක ප්ලෑන් කළේ. තව අක්කර 45 ක් ඉල්ලලා තියෙනවා. මහවැලි අධිකාරියෙන් මේක අනුමත වෙලා එතනින් එහාට යද්දි තමයි මේ ගැන ගැටලු ඇතිවුණේ. දැනට සිසුන් 3,000කට වගේ ඉගෙනගන්න පුළුවන් විදිහට හදලා ඉවරයි. සිසුන් 1200 කට වගේ නවාතැන් ගන්න පුළුවන්. හදලා ඉවරවෙද්දි සිසුන් 10,000 කට වගේ අධ්‍යාපනය ලබන්න පුළුවන්. දැනට මේ ඉදිකිරීම් සදහා සෞදි අරාබියේ එන්හෙරිටන්ස් අබ්දුල්ලා අල් ජෆාරි කියන සමාජ සේවා සංවිධානයෙන් රුපියල් බිලියන 3.6 ක් හම්බෙලා තියෙනවා. ඉදිකිරීම් අවසන් වෙද්දි රුපියල් බිලියන 18ක් වගේ යයි කියලා ඇස්තමේන්තු කරලා තියෙනවා.”

එහිදි රජයේ අධිනීතිඥවරයා විමසා සිටියේ, “හිස්බුල්ලා මහත්මයා දැන් ඔබතුමා විශ්වවිද්‍යාලයක් හැදුවයි කියමුකෝ. ඇයි ඔබතුමා මේ සඳහා අරාබි ගෘහ නිර්මාණ ශිල්පය භාවිත කළේ?” යැයි විමසීය.

“ස්වාමිනි, ඒක අරාබි ගෘහ නිර්මාණ ශිල්පය නෙමේ. ඒක ඉස්ලාම් ගෘහ නිර්මාණ ශිල්පය. අපේ රටේ විවිධ පළාත් වල රජයේ විශ්වවිද්‍යාල වල ඒ ඒ ප්‍රදේශ වලට ගැලපෙන සංස්කෘතින් සහ ගෘහ නිර්මාණ ශිල්පයන්ට අදාළ ඉදිකිරීම් කරලා තියෙනවා. යාපනයේ විශ්වවිද්‍යාලයේ හින්දු ගෘහ නිර්මාණ ශිල්පය, කොළඹ – පේරදෙණිය බෞද්ධ ගෘහ නිර්මාණ ශිල්පය, ඉතිං මම තීරණය කළා මේ විශ්වවිද්‍යාලය ඉස්ලාම් ගෘහ නිර්මාණ ශිල්පයට අනුව ඉදිකිරීම් කරන්න,” යැයි හිස්බුල්ලා මහතා පිළිතුරු දුන්නේය.

“හිස්බුල්ලා මහත්මයා, ඔය විශ්වවිද්‍යාලය තුළ ශරියා නීතිය උගන්වන්නත් පාඨමාලාවක් තියෙනවා නේදැයි?” රජයේ අධිනීතිඥවරයා විමසීමක් කළේය.

“මුලින්ම එහෙම අරමුණක් තිබ්බා ස්වාමිනි, විෂයයන් 10 න් 2ක් ශරියා නීතිය සම්බන්ධයෙන් තිබ්බා. නමුත් ඒකට උසස් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් අනුමැතිය ලැබෙන්න ඕනේ. පස්සේ අපි විෂයයන් 08කට අඩු කළා. නමුත් ස්වාමිනි මම කියන්න ඕනේ; ශරියා නීතිය කියන්නේ ඉස්ලාමිය අධ්‍යාපනයක්. ඉතිං දැනටත් කොළඹ විශ්වවිද්‍යාලයේ ඉස්ලාම් විෂයක් හැටියට තියෙනවා. ඊළගට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පීඨයක් හැටියටම තියෙනවා,” යැයි හිස්බුල්ලා මහතා පැවසීය.

“හිස්බුල්ලා මහත්මයා, සාමන්‍යයෙන් විශ්වවිද්‍යාලයක් ආරම්භ කරන්නේ රැකියා වෙළෙදපොළ ඉලක්ක කරගෙනනේ. දැන් ඔබතුමා ඔය විශ්වවිද්‍යාලයේ ශරියා නීතිය උගන්නලා උපාධියක් දෙන්න සැලසුම් කළේ ලංකාවේ රැකියා වෙළෙදපොළේ ශරියා උපාධියකට මොනවගේ රැකියා තිබෙනවා කියලා හිතා ගෙනදැයි?” ජනාධිපති කොමිසමේ සාමාජික විශ්‍රාමික අමාත්‍යාංශ ලේකම්වරිය මෙහිදි ප්‍රශ්නයක් මතු කළාය.

“ලංකාවේ ගන්න උපාධියට සරිලනම රැකියාව නෙමේනේ ස්වාමිනි හම්බවෙන්නේ. උපාධිය අරන් සාමාන්‍ය රැකියාවක් කරන්න පුළුවන්. ඊට අමතරව ඉස්ලාම් උගන්වන්න පුළුවන්,” යැයි හිස්බුල්ලා මහතා ඊට පිළිතුරු දුනි.

“මම ඔබට යෝජනා කර සිටිනවා මේ විශ්වවිද්‍යාලය පටන් ගැනීමේ අරමුණ වුණේ ශරියා නීතිය ඉගැන්වීම, සෞදි අරාබියේ සිට සිසුන් දේශකයින් ගෙන ඒම වගේ දේවල් කියලා. ඒ වගේම මේ විශ්වවිද්‍යාලය ඉලක්ක වුනේ උලමාවරුන් බිහිකිරීම, මුස්ලීම් සිසුන්ට අධ්‍යාපනය දීම විතරයි කියලත් මම ඔබට යෝජනා කරනවා” යැයි රජයේ අධිනීතිඥවරයා පැවසීය.

එයට පිළිතුරු දෙමින් හිස්බුල්ලා මහතා කියා සිටියේ,”මම එය පිළිගන්නේ නැහැ ස්වාමිනි, උලමාවරුන්ට ඉගෙනගන්න පුළුවන්. නමුත් එයාලට විතරක් නෙමේ බෞද්ධ, ක්‍රිස්තියානි, හින්දු වගේ ඕනම කෙනෙක්ට මෙහි ඉගෙනගන්න පුළුවන් එහෙම වෙන් කිරීමක් කරලා නැහැ” යන්නයි.

මෙහිදි ජනාධිපති කොමිසමේ සාමාජික විශ්‍රාමික අමාත්‍යාංශ ලේකම්වරිය යළිත් විමසා සිටියේ, “හිස්බුල්ලා මහත්මයා, මේක සෑම ජාතියකම සෑම ආගමකම කෙනෙක්ට ඉගෙනගන්න පුළුවන් කියලා ඔබතුමා කිව්වනේ. දැන් ඔබතුමා අපිට පෙන්වපු සැලැස්මේ තිබුණා විශ්වවිද්‍යාල භූමිය තුළ ඉදිකරපු මුස්ලිම් පල්ලිත්. ඔබතුමා ඔය කියන විදිහට අනිත් ආගමික සිසුන්ටත් තම ආගමික ඇදහිම් සිදුකිරීමට හැකිවෙන ලෙස වෙනත් ආගමික ස්ථානත් ඔය විශ්ව විද්‍යාල භූමියේ ඉදිකරලා තියෙනවාද?” යනුවෙනි.

එම ප්‍රශ්නය හමුවේ සුළු මොහොතක් නිහඬවු හිස්බුල්ලා මහතා, “ඔබතුමාලාට පෙන්වපු සැලැස්මේ නම් එහෙම දෙයක් නැහැ ස්වාමිනි, නමුත් අපි වෙනම ප්ලෑන් කළා අක්කර 03 ක වෙනත් ආගමික ස්ථානත් ඉදිකරන්න” යැයි පිළිතුරු ලබා දුන්නේය.

මෙහිදී ජනාධිපති කොමිසමේ සභාපතිවරයා විමසා සිටියේ, “ඔබට මුදල් ලබාදුන් අල් ජෆාරි ඇවිල්ලා මේ විශ්ව විද්‍යාලයේ ඉදිකිරීම් නිරීක්ෂණය කළාදැයි?” යනුවෙනි.

“ඔව් ස්වාමිනි, එක්වරක් පැමිණියා. ඊට අමතරව සෞදි අරාබියෙන් ඉංජිනේරුවෝ ඇවිල්ලා බැලුවා” යැයි හිස්බුල්ලා මහතා පිළිතුරු දුනි.

මෙහිදි සාක්ෂිකරුගෙන් ප්‍රශ්න කිරීම ඇරඹූ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් නියෝජනය කළ ජනාධිපති නීතිඥ ශමිල් පෙරේරා මහතා “අද දෙරණ” ඔස්සේ විකාශය වු හිස්බුල්ලා මහතා විසින් පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවක් ජනාධිපති කොමිසම හමුවේ පෙන්වා දෙමින් මඩකලපුව විශ්ව විද්‍යාලයට අයත් බැංකු ගිණුම් පිළිබඳ ප්‍රශ්න කළේය.

“හිස්බුල්ලා මහත්මයා, දැන් ඔබ කිව්ව විදිහට මේ වන විට ඔය මඩකලපුව විශ්ව විද්‍යාලය ඉදිකිරීම වෙනුවෙන් අවස්ථා 7 කදි රුපියල් බිලියන 3.6 ක මුදලක් ලැබිලා තියෙනවානේ. මේවා අධාර ලෙසද ලැබුණේ නැත්තම් ණය ලෙස ද?”

“අවුරුදු 15 කින් ගෙවීමට හැකිවන සේ ණය විදිහට ස්වාමිනි. සාක්ෂිකරුවන් ලෙස අත්සන් කළේත් මමයි, මගේ පුතායි ස්වාමිනි” යැයි හිස්බුල්ලා මහතා පිළිතුරු දුන්නේය.

“සාමාන්‍යයෙන් ණය ගිවිසුමකට එළඹෙද්දි සාක්ෂිකරුවෙකු ලෙස බාහිර පාර්ශවයක් අත්සන් කරනවානේ හිස්බුල්ලා මහත්මයා. නමුත් මේ ගිවිසුම් තුළ එහෙම බාහිර පාර්ශවයක් අත්සන් කරලා නැහැනේ. ඒ වගේම ණය නොගෙව්වොත් ඔබට විරුද්ධ ගන්න ක්‍රියාමාර්ගත් මේ ගිවිසුම්වල සඳහන් වෙලා නැහැ. මොකද මම එහෙම අහන්නේ ණය ලැබිලා වසර කිහිපයක් ගත වෙලාත් ඔබ තාම එක ණය වාරිකයක්වත් ගෙවලා නැහැ,” යැයි ජනාධිපති නීතිඥවරයා ප්‍රශ්න කළේය.

“ඉස්ලාමය කියන්නේ අල්ලා දෙවියන් ස්වාමිනි, අල්ලා දෙවියන්ගේ නාමයෙන් ඒ විශ්වාසය මත තමයි අපි ගිවිසුම් තියන්නේ. ඒ නිසා ලිඛිත ගිවිසුම් ගැන අපිට ප්‍රශ්නයක් නැහැ” යැයි හිස්බුල්ලා මහතා පැවසීය.

“හිස්බුල්ලා මහත්මයා මම ඔබට යෝජනා කරනවා. මේ බැටික්ලෝ කැම්පස් ප්‍රයිවට් ලිමිටඩ් (Batticaloa Campus) ගිණුමට ලැබුණු මුදල් ඒවා භාවිත කළ ආකාරයන් පිළිබද සැක මතුවෙනවා කියලා. පාස්කු ප්‍රහාරයෙන් වින්දිතභාවයට පත්වුණු මම නියෝජනය කරන කතෝලික මිනිස්සු වෙනුවෙන් මම ඔබට යෝජනා කරනවා. ඔබට ලැබී තිබෙන මේ අතිවිශාල මුදල් අන්තවාදි සංවිධාන පෝෂණයට යොදවලා තියෙනවා කියලා” යැයි ජනාධිපති නීතිඥවරයා තවදුරටත් යෝජනා කළේය.

“මම එය ප්‍රතික්ෂේප කරනවා ස්වාමිනි. පාස්කු ප්‍රහාරය වෙනකල් මුදල් ලද අවස්ථා 06 ක් පිළිබඳ තොරතුරු අපි විගණනයට යොමුකරලා තියෙනවා. 07 වැනි මුදල් ලැබීම සහ ඒවා භාවිත කළ ආකාරය ගැන පමණක් ගිණුම් විගණනයට ඉදිරිපත් කරන්න බැරිවුණා මොකද පාස්කු ප්‍රහාරයෙන් පස්සේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය වගේ විමර්ශකයින් අපේ ෆයිල් ඔක්කෝම අරන් ගිය නිසා” යැයි හිස්බුල්ලා මහතා කියා සිටියේය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු හිටපු ආණ්ඩුකාරවරයා පැවසුවේ, “ස්වාමිනි මම දිගටම සාකච්ඡා කරනවා ආණ්ඩුව සමග දැනට මේ මඩකලපුව විශ්වවිද්‍යාලය කොරෝනා ප්‍රතිකාර රෝහලක් ලෙස භාවිත කරනවා. නමුත් කොවිඩ්-19 පහව ගියාට පස්සේ මම රජය සමග සාකච්ඡා කරනවා කුමන කොන්දේසි යටතේ හරි මේ විශ්වවිද්‍යාලය විවෘත කරන්න. මම බලාපොරොත්තුවෙනවා කොහොම හරි මේ විශ්වවිද්‍යාලය විවෘත කරන්න” යැයි,හිස්බුල්ලා මහතා වැඩිදුරටත් ජනාධිපති කොමිසම හමුවේ කියා සිටියේය.

මෙහිදි හිස්බුල්ලා මහතාගෙන් ප්‍රශ්න කළ ජනාධිපති කොමිසමේ සාමාජික අභියාචනාධිකරණ විනිසුරුවරයා, “හිස්බුල්ලා මහතා මම ඔබට යෝජනා කරනවා ඔබ සහරාන්ට අනුකම්පා කළා කියලා” යැයි පැවසීය.

“නැහැ ස්වාමිනි, මම මැතිවරණ කාලවලදි සහරාන්ව ප්‍රසිද්ධියේ විවේචනය කළා” යැයි හිස්බුල්ලා මහතා ඊට පිළිතුරු දුන්නේය.

“ඒ මැතිවරණ කාලවලදිනේ. ඒ වුනාට ඔබතුමා සහරාන් සහ ඔහුගේ අන්තවාදි ක්‍රියාකාරකම් වලට එරෙහිව කිසිදු පැමිණිල්ලක් දාලා නැහැනේ” යැයි විනිසුරුවරයා පෙරළා විමසීමක් කරණ ලදී.

” නැහැ, ස්වාමිනි එහෙම පැමිණිලි කරලානම් නැහැ” යැයි හිස්බුල්ලා මහතා ඊට පිළිතුරු දුනි.

මෙහිදි ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරුවරයා ප්‍රශ්න කළේ, “සහරාන් කොහොමද මෙච්චර කාලයක් සැඟවී සිටියේ?” යන්නයි.

“ස්වාමිනි, මම සහරාන්ව අත්අඩංගුවට ලක්කිරීමට ගොඩාක් උත්සහ කළා නමුත් බැරිවුණා. මම හිතන්නේ ඔහුට යම් ආරක්ෂක අංශයක් ආරක්ෂාව දෙන්න ඇති” යැයි හිස්බුල්ලා මහතා පිළිතුරු දෙමින් පැවසීය.

මෙහිදි නැවතත් ප්‍රශ්න කළ ජනාධිපති කොමිසමේ සමාජික අභියාචනාධිකරණය විනිසුරුවරයා, “තාමත් කාන්තන්කුඩියේ ඇතැම් අයගේ සිත්වල අන්තවාදය තියෙනවා නේද?, ඔවුන් යළි සහරාන්ලා වගේ අන්තවාදයකට යොමු වෙන්නේ නැහැ කියලා ඔබට සහතික වෙන්න පුළුවන්දැයි?” විමසා සිටියේය.

“ඔව් ඇතැම් අයගේ සිත්වල තියෙනවා. මට එහෙම හිස එසවීමක් වෙන්නේ නැහැයි කියලා පොරොන්දු වෙන්න බැහැ” යැයි හිස්බුල්ලා මහතා ජනාධිපති කොමිසම හමුවේ සදහන් කළේය.

(Lanka Leads)