Saturday, August 16, 2025
Follow Us
20ට අපේ මන්ත්‍රීවරු විරුද්ධ නෑ, මට 20 ගැන පුද්ගලික අදහසකුත් නෑ - විමල්ගේ අලුත්ම කතාව

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සමස්තයක් ලෙස ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ අකමැත්තක් නොමැති බවත් තමන්ට එම සංශෝධනය සම්බන්ධයෙන් පුද්ගලික මතයක් හෝ නොමැති බවත් අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

"මන්ත්‍රීවරු අකමැති නෑ. 20 වෙනි සංශෝධනය කියන සමස්තයට නෙවෙයි යම්කිසි මන්ත්‍රීවරයෙක් හෝ කීපදෙනෙක්ගේ විරුද්ධත්වයක් තියෙනවා නම් තියෙන්නෙ ඒකෙ අන්තර්ගත සමහර කාරණා දෙක තුනකට තමයි.

එහෙම නැතුව සමස්තයක් හැටියට රටේ ජනතාවගේ වරමින් ජනාධිපති ධුරයට පත්වෙච්ච ජනාධිපතිතුමාට මේ රටේ පොදු ජනතාව අදහස් කරන ආකාරයට මේ රට දියුණු කරන්න ඒ කාර්යක්ෂමව කටයුතු ඉදිරියට ගෙනියන්න බලය තිබිය යුතුයි කියන කාරණය ගැන කිසිම කෙනෙක්ගේ විවාදයක් නෑ. ඒකට හැමෝම එකඟයි.

නමුත් ඒ සංශෝධනය ඇතුළෙ සිදුවෙන සමහර වෙනස්කම් පිළිබඳව තමයි ඇතැම් විට විවිධ අදහස් පළවෙලා තියෙන්නෙ" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

විමල් වීරවංශ මහතා මේ බව පැවසුවේ 20 වෙනි සංශෝධනය සම්බන්ධයෙන් ආණ්ඩුවේම ඇතැම් පාර්ශ්ව ඉදිරිපත් කර තිබුණු විරෝධතාවල වත්මන් තත්වය පිළිබඳව මාධ්‍යවේදීන් ඊයේ (14) විමසූ අවස්ථාවේදීය.

එහිදී 20 වන සංශෝධනය ගැන ඒ මහතාගේ පුද්ගලික අදහස කුමක්දැයි මාධ්‍යවේදීන් විමසූ විට ඒ මහතා සැණින් පැවසුවේ "පුද්ගලික අදහස් නෑනෙ. සාමුහික අදහස් තියෙන්නෙ" යනුවෙනි.

පසුගිය ඔක්තෝබර් 09 වෙනිදා දක්වාම විමල් වීරවංශ මහතා ඇතුළු මැති ඇමතිවරුන් කිහිප දෙනෙකු ආණ්ඩුව තුළ 20 වැනි සංශෝධනයෙහි ඇතැම් වගන්ති වෙනස් වියයුතු බව පවසමින් යම් අරගලයක් ගෙනගිය අතර 09 වෙනිදා පැවති විශේෂ රැස්වීමේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඔවුන් අමතා සිය දැඩි මතය තරයේ අවධාරණය කළ පසුව ඔවුන් පැහැදිලි වෙනසකට බඳුන් වී ඇති බව පෙනේ.

(LNW)