Friday, August 15, 2025
Follow Us
පොහොට්ටු සන්ධානය තුළ ඕනෑම පක්ෂයකට තමන්ගේ මතය ඉදිරිපත් කරන්න පුළුවන් - නාමල්

20 වැනි සංශෝධන කෙටුම්පතට ඉදිරියේදී එක් කරන බවට දැනට අධිකරණයට දැනුම් දී ඇති සංශෝධනවලට අමතරව තවත් සංශෝධන අවශ්‍ය නම් ආණ්ඩුව තුළ සිටින ඒ ඒ පක්ෂවලට තමන්ගේ යෝජනා ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයාට ඉදිරිපත් කර, කැබිනට් මණ්ඩලයෙහි සාකච්ඡා කර ඒවා ඇතුළත් කරගත හැකි බව ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.

"20 වැනි සංශෝධනය කියන්නෙ ආණ්ඩුව විසින් ගෙනාපු ව්‍යවස්ථා සංශෝධනයක්. ඒකට කැබිනට් අනුමැතිය දීලා ඒවගේම සංශෝධන අවශ්‍යයයි කියන කාරණා පිළිබඳ සැලකිල්ලට අරගෙන ඒ පිළිබඳව අධිකරණයටත් දන්වලා තියෙනවා මෙවැනි සංශෝධන ගේනවා කියලා. ඉතිං මං හිතන්නෙ තවත් සංශෝධන අවශ්‍ය නම් ඒ ඒ පක්ෂවලට පුළුවන් තමන්ගේ තීන්දු පිළිබඳව අතිගරු ජනාධිපතිතුමාටත් අගමැතිතුමාටත් කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා කරලා ඒවා ඇතුළත් කරන්න. ඒ හින්දා ඒකෙ කිසිම ප්‍රශ්නයක් නෑ.

සන්ධානය ඇතුළෙ සියලුම පක්ෂවලට අයිතියක් තියෙනවා තමන්ගෙ මතය ප්‍රකාශ කරන්න. අපි පහුගිය ආණ්ඩුව වගේ පක්ෂය ඇතුළෙ ඉන්න අයගෙ මතය පාගලා දාලා එක්කෙනෙක්ගෙ මතය විතරක් ක්‍රියාත්මක කරන ආණ්ඩුවක් නෙවෙයි. ඕනෙම පක්ෂයකට තමන්ගෙ මතය ප්‍රකාශ කරන්න අයිතියක් තියෙනවා, ඒවගේම අතිගරු ජනාධිපතිතුමා එක්ක අගමැතිතුමා එක්ක පක්ෂ නායකයින් එක්ක සාකච්ඡා කරන්න ඒ අයට හැකියාව තියෙනවා.

මේක කිසිසේත්ම අනවශ්‍ය ප්‍රශ්නයක් නෙවෙයි, ඔවුන් ඔවුන්ගෙ මතය ඉදිරිපත් කරලා තියෙනවා. මතය ඉදිරිපත් කිරීම ඔවුන්ගෙ අයිතියක්නෙ" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ ජාතික නිදහස් පෙරමුණ විසින් 20 වැනි සංශෝධනය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා වෙත යවා ඇති ලිපිය සම්බන්ධයෙන් ඊයේ (04) මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

(LNW)